නින්දා - ප්‍රශංසා, යස - අයස මැද
මගේ හෘද සාක්ෂියට එකඟව නිවැරදි යැයි සිතෙන දේ රට වෙනුවෙන්
- ජනපති රාජාසන කතාව
සර්ව පාක්ෂික ආණ්ඩුවකට සියල්ලන්ට ආරාධනා
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරෙන් බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයා ලෙස මා පසුගිය 20 වෙනිදා ජනාධිපති ලෙස තේරි පත් වුණා. අද දිනයේ ජනාධිපති ලෙස මුල් වතාවට ඔබ අමතනවා.
මේ සභාව ශ්‍රි ලංකාවේ විවිධ ජන කොටස් නියෝජනය කරනවා. සිංහල හෝ වේවා, දමිල හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, බර්ගර් හෝ වේවා වෙනත් ජන කොටසක් හෝ වේවා ඔබ මෙතනට රැස් වෙන්නේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ලෙසයි.
පාර්ලිමේන්තු නියෝජිතයින් තෝරා පත් කරගත්තේ විවිධ ජන කණ්ඩායම්වලට අයත් ජනතාව විසින්. ඒ කුමන ජන කොටසක් නියෝජනය කළත් අප සියල්ලම කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙසයි.
අද මම ඔබ අමතන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ජනාධිපති ලෙසයි. |
President Ranil Wickremesinghe |
අපේ රට විවිධ සංස්කෘතින්ට අයත්, විවිධ ආගම් අදහන, විවිධ භාෂා කතා කරන ජනතාවකගෙන් සමන්විතයි. සංස්කෘතික ඇවතුම් පැවතුම් පවත්වාගෙන යෑමට, ආගම් ඇදහීමට සහ තම මව් භාෂාව භාවිත කිරීමට සැමට ඇති අයිතිය ඔබේ ජනාධිපතිවරයා ලෙස මම ආරක්ෂා කරනවා.
ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමටත්, අනෙකුත් සියලු ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් මා බැඳී සිටිනවා.
අපට ආගමික, සංස්කෘතින, සමාජයීය වශයෙන් පමණක් නොව, ආර්ථික වශයෙන් ද ප්‍රෞඪ අතීත උරුමයක් දායාද වී තියෙනවා. එය විවිධ සංස්කෘතීන්වලින් පෝෂණය වි තියෙනවා. සතරවරම් දෙවිවරු පිළිබඳ සංකල්ප, බුදු දහම හා සම්බන්ධ වෙන්නේ අන්න එහෙමයි. මේ අතීත උරුමයන් පදනම් කරගනිමින් අනාගතය ගොඩනැංවීමේ වගකිම අද අපට පැවරී තියෙනවා.
මම බාරගත්තේ විපත්තියට ඇද වැටුණු රටක්, දරුණු ආර්ථික අර්බුදය එක පැත්තකින්, දැවැන්ත ජනතා විරෝධය තවත් පැත්තකින්. නමුත් රට වෙනුවෙන් මේ අසීරු අභියෝගය භාර ගැනීමට මම තීරණය කළා. ඒ අඳුරට සාප කරමින් ඉන්නවාට වඩා එක පහනක් හෝ දැල්වීම රට වෙනුවෙන් මා කළයුතු යුතුකමක් සේ මා සැළකු නිසයි.
අද අප මුහුණ දෙන්නේ නුතන ඉතිහාසයේ කිසි දිනෙක අපේ රට මුහුණ නොදුන් මට්ටමේ අතිශය බරපතල ප්‍රශ්නයකට. අපි දැවැන්ත අනතුරකට ගොදුරු වෙලා. ඒ අනතුරින් රට බේරා ගත හැක්කේ අප සියලු දෙනාම එකට එකතුවී මේ අභියෝගයට මුහුණ දුන්නොත් විතරයි. මේ පාර්ලිමේන්තුවේ සිටින ගරු මන්ත්‍රීවරුන් වගේම සමස්ත ජනතාවත් රට ගොඩ නැගීමේ වෑයමට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීම ඉතා වැදගත්.
රට ගොඩනැංවීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එක්වී කටයුතු කිරීම මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි. එකට එක්වුණොත් අපට ජාතිය ඉහළට ඔසවා තබන්නට හැකි වෙනවා. බෙදී වෙන් වුණොත්, පරිහාණියට හා අසරණභාවයට පත්වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන් පමණක් නෙවෙයි. මුළු මහත් ජාතියමයි.
ඒ නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා එක්වන ලෙස මම යළිත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. මම ඔබ සැමට මිත්‍රත්වයේ හස්තය ගෞරවයෙන් දිගු කරනවා. අතීතය පසෙකලා, රට වෙනුවෙන් එකට එක්වෙන්න කියා විශ්වාසයෙන් යුතුව ආරාධනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ දේශපාලන පක්ෂ සමඟ පවත්වන සාකච්ඡා මම දැනටමත් ආරම්භ කර තියෙනවා.
මගේ වැඩපිළිවෙල විමසා බලා, ඉන්පසුව සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට එකඟත්වය පළ කරන බව යම් යම් පාර්ශ්වයන් ප්‍රකාශ කර තිබුණා. ඒ පිළිබඳවත් මම අදහසක් පළ කරන්නට කැමතියි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු එක් පක්ෂයක තනිමතයට ක්‍රියා කරන ආණ්ඩුවක් නොවෙයි. එය පොදු ප්‍රතිපත්ති රාමුවක් තුළ සියළු පර්ශ්වයන්ගේ අදහස් අනුව පෝෂණය වන ආණ්ඩුවක්. අප හැම දෙනාගේම අදහස් අනුව ක්‍රියාත්මක වන ආණ්ඩුවක්. රට වෙනුවෙන් අප සියළු දෙනාම එකට එකතු වී ඉදිරියට ගෙන යන ආණ්ඩුවක්.
කඩිනමින් මේ දේශපාලන අර්බුදය විසඳාගෙන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක වැදගත්කම මම මේ සභාවට යළි යළිත් අවධාරණය කරන්නට කැමැතියි.

President Ranil Wickremesinghe
arrives to inaugurate a new session of parliament and deliver his first policy statement, amid the country’s economic crisis. Photo Credit: Reutersආර්ථිකය කඩා වැටීම නිසා අපේ රට දේශපාලන අර්බුදයට ගොදුරු වුණා. මේ අයුරින් අපේ ආර්ථිකය කඩා වැටුනේ ඇයි?
අපේ ආර්ථික ක්‍රමවේදයන් කෙසේ විය යුතු දැයි යන්න ගැන අපි දැන් දශක දෙක තුනක් තිස්සේ වාද විවාද කර ගන්නවා. 1977 දි අප රටට නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දුන්නා. නමුත් කාලයට ගැළපෙන ලෙස එය නවිකරණය කර ගන්නට අප අසමත් වුණා. ආර්ථිකය නවීකරණය කිරීම සඳහා අවධානය යොමු නොකර තරඟකාරී, අදූරදර්ශී සහ විනාශකාරී පටු දේශපාලනයක නිතර වුණා. යුක්රේන යුද්ධය, කොවිඩ් වසංගතය සහ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් කඩා වැටීම වැනි ජාත්‍යන්තරයේ සිදුවු අවාසිදායක ආර්ථික සාධක අපේ අර්බුදය තවත් සංකීර්ණ තත්ත්වයකට ඇද දැම්මා.