Wednesday 9 September 2015

කේ.පී.ට තිබෙන චෝදනා මෙන්න











ශන්මුගම් කුමාරන් පද්මනාදන් යනුවෙන් කීවාට රටුන්ට ඔහුගේ වගතුග හෝ රූපකාය මතකයට නොඑන බව සහතිකය. එනමුත් කේ.පී. යනුවෙන් කීවා නම් ඔහු ගැන නොදන්නා අයෙක් ලංකාවේ නැති තරම්ය. ඒ ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ නායකයා වූයේ ඔහු බැවිනි. කේ.පී. රට්ටු අතරේ ප්‍රසිද්ධියට පත්වූයේ ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා වීම නිසාම නොවේ. ප්‍රභාකරන් ජීවත්ව සිටි කාලයේදී ඔහු ලොව ප්‍රකට චරිතයකි. ඊට හේතු වූයේ එල්.ටී.ටී.ඊ. ය නමැති ගොඩනැගිල්ල සෑදී තිබුණේ ප්‍රභාකරන් කේ.පී. හා ‍පොට්ටු අම්මාන් යන කුලුනු තුන මත නිසායි.
ප්‍රභාකරන් මෙන්ම කේ.පී. කුඩා කළ සිට සමීප මිතුරෝය. ඒ මිතුරුකම් දිග පළල කෙතරම්ද කිවහොත් ප්‍රභා මදිවදිනි විවාහ කරගත් දවසේ ඔහුගේ දෙවැනි මනමාලයා වූයේ කේ.පී.ය.
එල්.ටී.ටී.ඊ.යේ ආරම්භක සාමාජිකයකු වූ කේ.පී. පසුකලක එම සංවිධානයේ ජාත්‍යන්තර අවි සැපයුම්කරු විය. ඔහු ජාත්‍යන්තර ‍පොලීසියට අවශ්‍යව සිටින වරෙන්තුකරුවෙකි.
ප්‍රංශයේ ලියෝන් නගරයේ පිහිටි ජාත්‍යන්තර ‍පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති රතු වරෙන්තුකරුවන් අතර ත්‍රස්ත ක්‍රියා සහ විවිධාකාර අපරාධ සම්බන්ධයෙන් ඉන්දියාවට අවශ්‍ය ශ්‍රී ලාංකීය අපරාධකරුවෝ 10 දෙනෙක් සිටිති. ඒ අය අතර දෙමළ ජාතිකයෝ 06 දෙනෙක්ද, මුස්ලිම් ජාතිකයෝ 04 දෙනෙක්ද සිටිති. ශන්මුගම් කුමාරන් තර්මලිංගම් හෙවත් කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී ද සිටින්නේ ඒ ගොඩේය. ඉන්දියාවට ඔහුව අවශ්‍යව ඇත්තේ ඉන්දීයාවේ හිටපු අගමැතිවරයෙකු වූ රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙනි.
තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුර්හීදී 1991මැයි 29 වෙනිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකොට රජිව් ගාන්ධි ඝාතනය කරනුයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදීය.

එකී ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ඉන්දියානු මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය හෙවත් රෝ සංවිධානය එකී ඝාතනයට වගකිව යුතු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කිහිප දෙනෙක්ට එරෙහිව ජාත්‍යන්තර ‍පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කරනු ලැබිය. ඒ අය අතර කොටි නායක වේලුපිල්‍ලේ ප්‍රභාකරන්, කොටි බුද්ධි අංශ ප්‍රධානී ‍පොට්ටු අම්මාන් සහ කේ.පී ද සිටියෝය. එහෙත් දැන් එකී ලැයිස්තුවෙන් ඉතිරිව ඇත්තේ කේ.පී. පමණි. ඒ වේලුපිල්‍ලේ ප්‍රභාකරන් මෙන්ම ‍පොට්ටු අම්මාන්ද සිව් වෙනි ඊළාම් යුද්ධයේදී හමුදා ප්‍රහාරවලින් මරුමුවට පත්වූ බැවිනි.





ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයකු ඝාතනයට හවුල්කාරයකුව ජාත්‍යන්තර ‍පොලීසියේ රතු වරෙන්තු ලැබූ එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබලයෙකු මෙන්ම ප්‍රභාකරන්ගේ මරණින් පසු එහි නායකත්වයට පත්වුණු කේ.පී. දැන් සිටින්නේ ආරක්ෂා සහිතව මෙරට භාරයේය. ඒ යුද්ධය නිමාවීමෙන් පසු කෙරුණු ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසය. කේ.පී.ව 2009 වසරේ අගෝස්තු 05 වෙනිදා මලයාසියාවේ ක්වාලාම්පූර්හී අබ්දුල් රහුමාන් පාරේ අංක 316 දරන ස්ථානයේ පිහිටි ෆස්ට් ටියුන් හෝටලයේදී අල්ලාගෙන මෙරටට ගෙන ඒමේ දින සිටය. විදෙස් ගමන් බලපත්‍ර 17ක් මෙන්ම විවිධ නම් 23ක් පමණ භාවිතා කරමින් රටවල් රැසක රහසිගත ලෙස ජීවත්වෙමින් සිටි කේ.පී.ව අල්ලාගෙන මෙරටට ගෙන ඒමට යම් සැලසුමක් මෙරට ආරක්ෂක අංශ ඇරඹුවේ ප්‍රභාකරන්ගේ මරණින් පසු ඔහු එල්.ටී.ටී.ඊ.යේ නායකත්වයට පත්වීම නිසාම නොව. ඔහු එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර අවි ජාවාරම්කරු මෙන්ම එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර නායකයාව සිටි බැවිනි. එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර ජාලය ගැන මෙන්ම ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනකවූ එල්.ටී.ටී.ඊ.යේ වත්කම් ගැන දැන සිටියේද ඔහුය. කේ.පී. මෙරටට ගෙන ආපසු එවකට රජයේ සිටි මැති ඇමැතිවරු සඳහන් කරනු ලැබුවේ නැව් 07ක් මෙන්ම ඇමෙරිකානු බිලියන ගණනක මුදල් සහ වත්කම් ගැන කේ.පී හෙළිකරන බවය. ඒවා සියල්ලක්ම රාජසන්තක කරන්නට වගබලා ගන්නා බවද ඇතැම් ඇමැතිවරු උදම් ඇනුවේ කේ.පී.ව තමන් එරටට ගොස් අල්ලාගෙන ආ හැටියටය. එපමණක් නොව එවකට ජාතික බුද්ධි ප්‍රධානියාව සිටි විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්ද්‍රාවිතාන මධ්‍ය හමුවක් පවත්වමින් ඒ ගැන කීවේය.
කේ.පී.ව අල්ලාගෙන විත් දැන් වසර 06 කට වැඩිය. තවමත් ඒ සොයාගත් නෞකා හෝ ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක දේපළ සහ මුදල්වලට වුණු දෙයක් ගැන පැහැදිලිතාවක් නැති තරම්ය. එවකට රජයේ සිටි මැති ඇමතිවරු කී ආකාරයට ඒ කිසිවක් මතෛක් රාජසන්තක වී ද නැත. සෙසු ත්‍රස්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූවත් මතෛක් කේ.පී.ව මෙරට කිසිදු අධිකරණයකට හෝ ඉදිරිපත් කළේද නැත. මෙරටට ගෙනවිත් වැඩි කල් යන්නටත් මත්තෙන් කේ.පී. හිරේ දමනවා වෙනුවට රජයේ වියදමින් රජසැප දෙමින් ඔහුව නඩත්තු කරන්නට ගත්තේය. කිලිනොච්චියේ ඉරණමඩු හී පිහිටි සෙන්චෝ‍ලේ සහ මුල්ලිවලෙයි හී පිහිටි භාරතී ඊළම් යන අනාථ ගැහැනු දරුවන්ගේ නිවාස දෙකෙහිත්, මුත්තයියන්කාඩු හී පිහිටි අන්බු ඊළාම් නම් වූ අනාථ පිරිමි දරුවන්ගේත් ළමා නිවාස දෙකෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නට ගත්තේත්කේ.පී.ය.
ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ නායකත්වයට පත්වුණු එල්.ටී.ටී,ඊයේ ජාත්‍යන්තර මහ මොළකරු ලෙස සැලකූ කේ.පී.ව මලයාසියාවේ සිට අල්ලාගෙන විත් කිසිදු නීතිමය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් ඔහුව අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත්කරන ලෙස ‍පොලිස්පතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලීමක් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාය. ඒ ජනවාරි 08 වෙනිදා සිදුවුණු වෙනසත් සමගිනි.
ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, අවි ආයුධ රැස්කිරීම, ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය ආදී චෝදනා 193 කට කේ.පී. වගකිව යුතු බව එම පෙත්සමේ සඳහන් වූවත් නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණයට ඉකුත් 31 වෙනිදා කරුණු දක්වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන සඳහන් කරන්නේ කේ.පී.ට එරෙහිව නඩු පැවරීමට එම චෝදනා ප්‍රමාණවත් නොවන බවය.
කේ.පී. ලංකාවෙන් පලා ගියේ 1990 වසරේදීය. ඉක්බිතිව එල්.ටී.ටී.ඊ.යට අවි ආයුධ රැස්කිරීමේ ජාලයේ ප්‍රධානියා ලෙස ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන සිටි ඔහු හසුවුවහොත් ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය රටවල් 12 කට පසුකාලයේ රාජ්‍ය තාන්ත්‍රික ලෙස දැනුම්දී තිබිණි. මලයාසියාවේ රහස් ජීවිතයක් ගතකරමින් සිටි කේ.පී.ව රහස් මෙහෙයුමකට අනුව මලයාසියාවේ ආරක්ෂක අංශවල සහයද ඇතිව අල්ලාගෙන ඒ වෙනුවෙන්ම මලයාසියාවට ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන් යානාවකින් ගෙන එන්නේ ඒ තරමට ඔහුව මෙරට ආරක්ෂක අංශවලට ඒ වන විට වැදගත් අයෙකු වන බැවිනි. එහෙත් වසර හයක් ගෙවී ගියද මතෛක් ඔහු සම්බන්ධයෙන් ‍පොලිස් පරීක්ෂණයක්වත් ක්‍රියාත්මකව නැත. ජාත්‍යන්තර ‍පොලීසිය හරහා ඉන්දියාව නිකුත්කර ඇති රතු නිවේදනය පවා මතෛක් ඉවත්කර නැත. ඒ අනුව පැහැදිලි වන්නේ ඔහු තවමත් ඉන්දියාවට අවශ්‍ය ත්‍රස්තවාදියෙක් බවය. එසේ ඉන්දියාවට අවශ්‍ය ත්‍රස්තවාදියෙක් නිදහසේ මෙරට රැඳී සිටින අතර තුර මෙරට ‍පොලීසිය ජාත්‍යන්තර ‍පොලීසිය හරහා මෙරටට අවශ්‍ය අපරාධකරුවන් 119 දෙනෙකුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරමින් ඒ අය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තරයේ සහය ඉල්ලා තිබිම ද අමතක නොකළ යුතුය.

No comments:

Post a Comment