Saturday 12 September 2015

දුර්ගන්ධය සහ චන්ද්‍රිකාගේ වචාලභාවය













මීට දින කිහිපයකට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඉන්දියාවේ ‘’ද හින්දු ‘’ පුවත්පතට කර තිබූ ප්‍රකාශය සියළුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්දදායකයින්ගේ අවධානයට යොමුවිය යුතුය. කුමාරතුංග මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක් මෙන්ම අදටත් මධ්‍යම කාරකසභිකයකු හා අනුශාසකවරියක් වන නිසා එතුමිය පිටරට සංචාරවලදී විදෙස් මාධ්‍යයට කරන ප්‍රකාශ අපගේ පක්ෂයට පමණක් නොව රටටත් සෘජු ලෙස බලපාන බව නොකිවමනාය. එතුමිය ‘’ද හින්දු ‘’ පුවත්පතට දුන් ප්‍රකාශය පුරාම මාගේ නායකත්වය යටතේ තිබූ ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුව පරාජය කරවීමට හැකි වීම ගැන ප්‍රීතිය ප්‍රකාශ කර තිබූ අතර ඒ සදහා කරන ලද කුමන්ත්‍රණය තුල එතුමියගේ කාර්යභාරය ගැන ද තලුමරමින් විස්තර කොට තිබුණි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ හෝ භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයකු හෝ වත්මන් මධ්‍යම කාරක සභිකයකු හෝ අනුශාසකවරයකු තමාගේ පක්ෂයේ පරාජය ගැන ප්‍රීතිය ප්‍රකාශ කිරිමක් ඉන්දියාවේ නම් කිසිදාක සිදුවන්නේ නැත. අසල්වැසි රටකට ගොස් මෙවැනි ප්‍රකාශ කිරීමෙන් කුමාරතුංග මැතිණිය තම පක්ෂය ගැනත් රට ගැනත් ලෝකයට දෙන පණිවුඩය කුමක් ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් ඡන්ද දායකයන්ට මහත් ලැජ්ජාවක් සිදු කිරීමට ඒ කාරණයම ප්‍රමාණවත් වුවද එයින් නොනැවතී එතුමිය තවදුරටත් අප පක්ෂය ගැන කියා තිබූ දේවල් වලින් පක්ෂයටත් රටටත් මහා අවමානයක් සිදුවී ඇත. මට එරෙහිව තරග කිරීමට ශ්‍රීලනිපයේ ප්‍රබලයකු සොයන විට එක්කෝ හොරෙක් නැත්නම් මිනීමරුවෙක් නොවන කිසිවෙක් පක්ෂය තුලින් සොයාගත නොහැකි වූ නිසා ඇය අසීරුතාවයට පත් වූ බව ද කුමාරතුංග මැතිණිය ‘’ද හින්දු‘’ පුවත්පතට කියා තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය හා මධ්‍යම කාරකසභිකයකු පිටරට ගොස් තමාගේ පක්ෂයේ සිටින සියලු දෙනාම පාහේ එක්කෝ හොරුන් නැත්නම් මිනීමරුවන් යැයි විදෙස් මාධ්‍ය වලට කියා සිටින විට එයින් අපේ පක්ෂයට ඇතිවන තත්වය කුමක් ද ? මේ අවස්ථාවේදී තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ලෙස කටයුතු කරන පිරිසක් ද වත්මන් ඇමති මණ්ලයේ සිටී. තමාගේම පක්ෂයේ අනුශාසකවරිය මේ සියලු දෙනාමත් හොරුන් හා මිනීමරුවන් හැටියට දක්වමින් ලෝකය වටේ යන විට තමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් යැයි හදුන්වා ගන්නා මේ ඇමතිවරු ඒ ඇමති මණ්ඩලයේම සිටින එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන්ට මුහුණ දෙන්නේ කෙසේද?

තවද කුමාරතුංග මැතිණිය විසින් මේ ආකාරයට ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ හොරුන් හා මීනිමරුවන් හැටියට හදුන්වන මේ ශ්‍රීලනිප ප්‍රබලයන් එතුමියගේ ආණ්ඩුවේද සිටි අය වීම විශේෂයකි. මා පක්ෂය භාරගත්තේ එතුමියගෙනි. ඉතින් එතුමිය මේ හින්දු පුවත්පතට දුන් ප්‍රකාශයෙන් ගම්‍යවන කාරණයක් වන්නේ එතුමියත් හොරුන්ගෙන් හා මීනිමරුවන්ගෙන් පිරුණු පක්ෂයක සභාපතිනියක්ව සිටි බව නොවේද ?

මෙහි වඩාත්ම ජුගුප්සාජනක කාරණය වන්නේ කුමාරතුංග මැතිනිය විසින් චෝදනා එල්ලකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන්ට එරෙහිව චෝදනා උසාවි වල ඔප්පු වී නැතත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කුමාරතුංග මැතිණියව අයථා ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වරදකරු කර විශාල දඩයක් ද නියම කොට තිබීමයි. මෙවැනි දේ සම්බන්ධයෙන් එතුමියට ඇති වෙනත් චෝදනාද සුළුපටු නොවෙයි. නොකලයුතු දේවල් කිරීමට ගොස් ජනතා විරෝධය හමුවේ එතුමියම ලබාගත් දේවල් ආපසු රජයට භාරදුන් අවස්ථාද ඇත. මෙවන් පසුබිමක් ඇති කුමාරතුංග මැතිණියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට අවමන් කරමින් ලෝකය වටේ යාමට අයිතියක් තිබෙනවාද නැත්ද යන්න ජනතාව විසින්ම තීන්දු කල යුත්තකි.

‘’ද හින්දු‘’ පුවත්පත සමග කරන ලද මේ සාකච්ඡාවේදී 2005 – 2015 අතර පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව ‘’පොලිස් රාජ්‍යයක්’’ වූ බවත් එම ආණ්ඩුව පෙරලීමට කරන ලද කුමන්ත්‍රනයේදී ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට සවන් දීමට නොහැකි වන ආකාරයට වයිබර් නැමති විශේෂ දුරකථන මෘදුකාංගය භාවිතා කල බවත් ඇය තව දුරටත් ප්‍රකාශ කර තිබුණි. මගේ ආණ්ඩුව විසින් කිසි දිනක කිසිවකුගේ දුරකතන ඇමතුම් වලට සවන් දුන්නේ නැත. එසේ සවන්දීමට අවශ්‍ය උපකරණ මගේ ආණ්ඩුවෙන් ගෙන්වා තිබුණේ නම් එවා දැන් වත්මන් ආණ්ඩුවෙන් භාවිතා කරනවා විය යුතුය. ඒ මන්ද යත් මෙවැනි උපකරණ කිසිවකු නොදැන පෞද්ගලිකව ගෙන්වීමට හෝ ක්‍රියා කරවීමට නොහැකි නිසාය. එමෙන්ම ඉතාම දැඩි මර්ධනකාරී ආණ්ඩුවක් ගෙන ගිය කුමාරතුංග මැතිණිය පොලිස් රාජ්‍යයක් ගැන අද කතාකිරීම මවිතයට කරුණකි. එතුමියගේ ආරක්ෂක අංශයේ සාමාජිකයන් කිහිප දෙනෙකු රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේකා පෙරේරා ගායක යුවලට තම දරුවන් ඉදිරියේම වදහිංසා පමුණුවා බියගැන්වීම සම්බන්ධයෙන් උසාවියේ වරදකරුවන් වූ ආකාරය කාටත් මතක ඇතුවාට සැකයක් නැත. කුමාරතුංග මැතිණියගේ ආරක්ෂකයින් අතර සිටි බැද්දගාන සංජීව නැමැති පාතාල නායකයාගේ කෙරුවාවල් සම්බන්ධයෙන් මේ රටේ පුවත්පත්වල පළවූ වාර්ථාද බොහෝ අයට මතක ඇතුවාට සැකයක් නැත. එතුමිය විසින් සිදු කරන ලද මේ ආකාරයේ බරපතල වැරදි සියල්ල මෙහි සදහන් කිරීම අසීරුය.

මම 2005 දී කුමාරතුංග මැතිණියගෙන් රට භාරගන්නා විට මේ රටේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල නමින් හැරුනු විට අනිත් හැම ආකාරයෙන්ම වෙනම රාජ්‍යයක් පැවතුනි. රටේ තුනෙන් එකක් පමණ පාලනය කලේ ත්‍රස්තවාදීන්ය. එපමණක් ද නොව දශකයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ රටේ සංවර්ධනය සිදුවී තිබුණේ ඉතා අල්ප වශයෙනි. මගේ පාලන සමය තුල මම මේ රටේ ප්‍රශ්න විසදීමට මුල්තැන දුන් බව මා ප්‍රකාශ කර සිටින්නේ නිහතමානී ආඩම්බරයකිනි. මම ත්‍රස්තවාදය මුලින්උපුටා දැමුවා පමණක් නොව රට වේගවත්ව සංවර්ධනය කිරිමටද පියවර ගත්තෙමි. මගේ දේශපාලන විරුද්ධවාදීන්ට හිරිහැර කිරිමට හෝ මගේ පක්ෂයටත් රටටත් අවමන් කරමින් ලෝකෙ වටේ යෑමට මම කාලය කාදැමුවේ නැත.

චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දෙස් විදෙස් මාධ්‍ය වලට අපගේ පක්ෂය ගැන කරන ප්‍රකාශ වලින් සිදුවන්නේ අපේ විරුද්ධවාදීන් තව තවත් ශක්තිමත් වීම පමණි. කුමාරතුංග මැතිණිය 1980 ගනන් වලදී අප පක්ෂයෙන් වෙන් වී ගොස් තමාගේම මවටත් එරෙහි වුවද මම සිරිමා බණ්ඩාරණායක මැතිණිය සමග සිට පක්ෂය ආරක්ෂා කළෙමි. කුමාරතුංග මැතිණිය 2005, 2010, 2015 ජනාධිපතිවරණ වලදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විරුද්ධව කටයුතු කලාය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනත් පක්ෂයකින් තරග කරන මෙන් බොහෝ දෙනා මගෙන් ඉල්ලා සිටිය ද අප මෙතෙක් ආරක්ෂා කරගෙන ආ අපගේ පක්ෂය ගැන කල්පනා කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත නොහැර සිටියෙමි. නමුත් ඒ අවස්ථාවේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය නොදී අලියාට ඡන්දය දෙන්නැයි කුමාරතුංග මැතිණිය ඡන්ද දායකයින්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියාය. මට එරෙහිව ඇති වෛරය නිසා තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක් බවත් තමා තවමත් මෙම පක්ෂයේ අනුශාසකවරියක් හා මධ්‍යමකාරක සභිකයකු බවත් කුමාරතුංග මැතිණිය අමතක කර තිබීම අප කාගේත් කනගාටුවට හේතු විය යුතුය.

මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති

No comments:

Post a Comment