Wednesday 29 March 2017

මා 19 ට විරුද්ධව ඡන්දය දුන්නේ ඇයි? රියර් අද්මිරාල් සරත් වීරසේකර














පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රී වරයෙකු වශයෙන් මා හට හේතු වූ කරුණු සැකවින් හෝ පැහැදිලි කර දීම මා සතු යුතුකමකි.


මා, අවුරුදු 35ක් නාවික හමුදාවේ ද අවුරුදු 4ක් සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රථම අධ්‍යක්ෂක ජනරාල් වශයෙන්ද පුරා වසර 39ක කාලයක් ශ්‍රී ලංකාවේ භෞමික අඛන්ඩතාවය ආරක්ෂා කිරීම සදහාත් ජාතික ආරක්ෂාව සාක්ෂාත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ සෛවරීභාවය ස්ථාවර කිරීම සඳහාත් කැපවූ කෙනෙකි. මෙතරම් දීර්ඝ කාලයක් එම අරමුණු ඉෂ්ඨ කර ගැනීමට කටයුතු කළ මා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් පත්වීමෙන් පසුව එම අරමුණු වලට එරෙහි කිසිඳු ක්‍රියාමාර්ගයකට අවතීර්න වීමට සූදානම් නැත.

ශ්‍රී ලංකා ඉතිහාසය පුරා නීතිය හා සාමය ආරක්ෂා කිරීම භාරව සිටින පොලිස්පති වරයා පත් කිරීමේ වගකීම පැවරී තිබුනේ රාජ්‍ය නායකයාටය. මෙවැනි භාරධූර කාර්යයක් සඳහා පොලිස්පතිවරයෙකු තෝරාගැනීමේ දී දේශයට හිතෛශි, බාහිර බලපෑම් වලට නතු නොවන, විශ්වාසවන්ත අයෙකු පත් කිරීමේ අභිමතය රාජ්‍ය නායකයාට තිබිය යුතු බව මගේ දැඩි විශ්වාසයයි. තවද පොලිස්පතිවරයා පමණක් නොව පොලීසියේ සෑම නිලධාරියෙකුම පත් කිරීමේ සහ ස්ථාන ගත කිරීමේ නිදහස ශ්‍රී ලංකා රජයට නොතිබුනහොත් විය හැකි භයානක ප්‍රතිඵල හමුදා නිලධාරියෙකු වශයෙන් සේවය කළ මා හට ඉතා පැහැදිලිය.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව මෙම නිදහස සහ අභිමතය රජයෙන් ගිලිහී ගොස් ඇත. මෙම සංශෝධනයට අනුව පොලිස් පතිවරයා පත් කරනු ලබන්නේ “ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව” ලෙස හැඳින්වෙන ආයතනයක අභිමතය පරිදිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයින් බහුතරයක් සාමාජිකයින් තෝරා ගනු ලබන්නේ අගමැතිවරයා සහ විපක්ෂ නායකයාගේ කැමැත්ත මත මිස පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ අභිමතය අනුව නොවේ. රටේ ජනාධිපතිවරයා තෝරා පත් කරගනු ලබන්නේ ශ්‍රී ලංකා ජනතාවගේ බහුතර කැමැත්ත මතය. අගමැතිවරයාද විපක්ෂ නායකයාද තම දිස්ත්‍රික්කයේ ජනතාව පමණක් නියෝජනය කරති. මුළුමහත් බහුතර ජනතාවක් මගින් තෝරා පත්කරගත් ජනාධිපතිවරයාට ලබා දී නැති බලයක් පෞද්ගලිකව අගමැතිවරයාට සහ විපක්ෂ නායකයාට ලබා දී තිබේ. ආණ්ඩුවේ සහ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ 2 හැරුණු විට ඉතිරිවෙන පක්ෂ බොහෝමයක් ජනවාර්ගික පදනමක් ඇති සුළු පක්ෂ වේ. එම සුළු පක්ෂ වල මන්ත්‍රී වරුන්ගේ සහභාගීත්වයෙන් සහ එකඟතාවයෙන්, එක් මන්ත්‍රී වරයෙකු මෙම ආණ්ඩුක්‍රම ව්‍යවසථා සභාවට පත්කළ හැකි නමුත්, ප්‍රධාන පක්ෂ 2 ක නියෝජනය කරන මන්ත්‍රී වරුන්ට උක්ත සභාවේ සංයුතිය තීරණය කිරීමේ ක්‍රියාවලියට සහභාගි විය නොහැකිය. අගමැති සහ විපක්ෂ නායක තම අභිමතයට අනුව සාමාජිකයින් පස්දෙනෙකු පත්කළ යුතුවන්නේ ව්‍යවස්ථා සභාවේ “බහුත්ව ලක්ෂණ” පිළිඹිබුවන පරිදිය.
අගමැති සහ විපක්ෂ නායක “සිංහල” නම් බහුත්ව ලක්ෂණ පෙන්නුම් කිරීමට එම පස්දෙනා “සුලු ජාතීන්” අතරින් පත් කළ යුතු වේ.

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට අනුව මේ රටේ ජන වර්ග 7ක් පමණ සිටිති. එනම්, ශ්‍රී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, චෙට්ටි සහ භාරත වේ. මීට අමතරව බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම් හින්දු ආදි විවිධ ආගම් වලට අයත් ජන කොට්ඨාශ ලංකාවේ සිටි. මේ සියල්ලක්ම නිරූපනය කිරීමට යාමේ එකම ප්‍රතිඵලය වන්නේ “සිංහල ජනවර්ගය” මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සුළු තරයක් බවට පත් වීමයි. සුදුසුකම් මත මින් කවර ජන කොට්ඨාශයකට අයිති කෙනෙකු වුවද ව්‍යවස්ථා සභාව නියෝජනය කරනවාට මා විරුද්ධ නැත. ජන වර්ගය පදනම් කරගෙන යමෙකුට වෙනස්කම් කිරීම මගේ අභිලාෂය නොවේ. වර්ථමාන අග්‍රවිනිශ්‍යකාරතුමා සුලු ජනවර්ගයට අයත් වුවද එම ධූරය දැරීමට අවශ්‍ය සියළු සුදුසුකම් ඔහු සපුරා ඇති නිසා එයට මාගේ කිසිඳු විරෝධතාවයක් නැත. එහෙත් ජනවර්ග සහ ආගම් මත මුලු ව්‍යවස්ථා සභාවම බහුත්ව ලක්ෂණය නිරූපනය කිරීම ව්‍යවස්ථාවෙන් නියම කිරීමේ ප්‍රතිඵලය වන්නේ එම ව්‍යවස්ථා සභාව තුළ සිංහල බෞද්ධ ජනයා සුළු තරයක් බවට පත් වීමයි. එබැවින් මෙම 19 වන ව්‍යවස්ථාව මගින් සිදුකර ඇත්තේ සෝල්බරි කොමිසම හමුවේ ජාතිවාදී දේශපාලඥයන් විසින් ඉදිරි පත් කරන ලද 50-50 හේ ඉල්ලීම ඊටත් වඩා භයානක අන්දමින් මෙම ව්‍යවස්ථා ව්‍යුහයට ඇතුලත් කිරීමයි. එවැනි ක්‍රියා දාමයකට මා තරයේ විරුද්ධ වෙමි. මෙම ක්‍රියාවලිය තුල වර්ථමානයේ සිටින ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී වරු 14 දෙනාටම ව්‍යවස්ථා සභාවේ සංයුතිය තීරණය කිරීමට සෘජුව මැදිහත් විය හැකි නමුත් දිගාමඩුල්ල නියෝජනය කරන මා හටත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී වරුන්ටත් මෙම ක්‍රියාදාමයට සහභාගී වීම වලක්වා ඇත. මෙසේ කිරීමේ අරමුණ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය මීට දින 3කට පෙර ද්‍රවිඩ සංවිධානයේ උත්සවයකට සහභාගී වී කරන ලද ප්‍රකාශයකින් පිලිඹිබුවේ. ඇය ප්‍රකාශ කරනු ලැබුවේ “අපගේ උත්සාහය සිංහලයාගේ බල අධිකාරිය බිඳ දැමීමයි” යන්නයි. සිංහල ජනතාවගේ බල අධිකාරිය ඉහත ආකාරයෙන් සිඳලීමට, දිගාමඩුලු ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වශයෙන්ද දේශහිතෛෂි පුරවැසියෙකු වශයෙන්ද මා හට කිසිසේත් එකඟවීමට නොහැක.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික පොලිස් කොමිසම සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත වේ. සියළුම පොලිස් නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම හා විනය කටයුතු පැවරෙනු ලබන්නේ මෙම ජාතික පොලිස් කොමිසම වෙතටයි. මේ අනුව ජනාධිපති වරයා වෙනුවට “බහුත්ව ලක්ෂණයෙන්” යුතු ව්‍යවස්ථා සභාවෙන් පත් කරණු ලබන ජාතික පොලිස් කොමිසම් සභාව වෙත එම වගකීම පැවරී තිබේ. එහෙත් පළාත් වල ක්‍රියාත්මක වීමට නියමිත පළාත් පොලිස් කොමිසන් සභාව පාලනය වන්නේ පළාතේ ප්‍රධාන අමාත්‍ය වරයාගේ අභීමතය පරිදිය. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 9 වන උප ලේඛනයේ 1 වන පරිශිෂ්ඨයේ 11 වන වගන්තිය අනුව පළාතක සේවය කරන ජාතික පොලීසියේ ද පළාත් පොලීසියේද පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු වන්නේ මහ ඇමැතිවරයාගේ සෘජු පාලනය යටතේ සිටින පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසිනි. මේ අනුව ජනාධිපතිවරයාට නැති බලයක් උතුරේ මහඇමැතිවරයාද ඇතුළුව සියළුම මහ ඇමැතිවරුන්ට ලබාදී ඇත. මින් මතු ජාතික පොලීසියේ බුද්ධි අංශ වලට සම්බන්ධ පොලිස් නිලධාරින් ස්ථාන ගත කරනුයේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි නොව ජාතික පොලිස් කොමිසමේ 7 දෙනාගේ අභිමතය පරිදිය.

ජාතික පොලිස් කොමිසමේ සිටින මෙම 7 දෙනා ජනතාවට වගකියන 7 දෙනෙකු නොවේ. අනාගතයේ දී ඔවුන් වෙනත් රටක ඔත්තු සේවයක බලපෑමකට ලක් වීමටද ඉඩ තිබේ. අනාගතයේ දී බෙදුම්වාදී ත්‍රස්ථ ක්‍රියා දාමයක කලල අවස්ථාව හඳුනාගැනීමට නම් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය පරිදි බුද්ධි අංශ නිලධාරීන් ස්ථාන ගත කළ යුතු වේ. එයට ව්‍යවස්ථා සභාවෙන් පත් කරන 7දෙනා හරහා සිදු කිරීම භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැක. මෙම වාතාවරණය තුල බෙදුම්වාදී සංවිධානයන් ශක්තිමත් වීමට අවශ්‍ය නිදහස මෙම 19 වන සංශෝධනය ලබාදේ. මෙවන් දේශද්‍රොහී ක්‍රියාවකට සම්බන්ධ වීමට මට කිසිසේත්ම නොහැක.

පොලිස් නිලධාරීන් පත් කිරීම පමණක් නොව රාජ්‍ය නිලධාරීන් පත් කිරීමේදී පවා මෙම අර්බුදය ඇති වනු ඇත. උදාහරණයක් වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත් වල ප්‍රාදේශිය ලේකම් වරුන් ඇතුලුව රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේ දී ද මධ්‍යම රජයේ අභිමතය නොතිබීම භයානක ප්‍රතිඵල ගෙන දෙනු ඇත. මීට වසර කිහිපයකට පෙර මා නියෝජනය කරන නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල දීඝවාපිය විහාරස්ථානයට ආසන්නයේ එක්තරා ජන වර්ගයකට පමණක් අයත් පවුල් 500ක් සඳහා නිවාස තැනීමට තීරණ ගත්තේ මෙවන් රාජ්‍ය නිලධාරීන්ය. එමගින් අනෙක් ජනවර්ග වල ජනතාවට සිදු කළ අසාධාරණය හේතුවෙන් ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් එම නිවාස ලබාදීම අවලංගු කරන ලදී. මෙය එම පළාත් වල සිදුවන අකටයුතුකම් වලින් එක් නිදර්ශනයක් පමණි. මෙවන් සෑම අකටයුත්තකටම එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත යාමට මා නියෝජනය කරන අසරණ ජනතාවට ශක්තියක් නැත. මා නියෝජනය කරන මගේ ජනතාව ආරක්ෂා කිරීම මධ්‍යම රජයේ පරම වගකීම බව මා තරයේ විස්වාස කරමි. එවැනි වගකීමක් විනාශ කරන කිසිඳු ක්‍රියාදාමයකට මට සහය දිය නොහැක. මෙහිදී මා විශේෂයෙන්ම සඳහන් කළයුතු වන්නේ රජයේ නිලධාරීන් ස්වාධීනව කටයුතු කිරීමට ඇති අයිතියට මා සහයෝගය නොදෙන බව නොවේ. මේ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාදාමය සැකසීමට මාගේ සම්පූර්ණ සහය ලබාදෙන නමුත් මෙවැනි දේශද්‍රෝහී ව්‍යවස්ථා ව්‍යුහයකට මට සම්බන්ධ විය නොහැක.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහාය දුන් අය ඊට සත්භාවයෙන් සම්බන්ධ වූ බව මා දනිමි. එහෙත් මෙම සංශෝධනය නිර්මාණය කළ නිර්මාණ කරුවන් මේ රටට හිතෛෂි පුද්ගලයන් නොව විදේශිය රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙන ජාති ද්‍රෝහී බලවේගයන්ය. එවන් ජාති ද්‍රෝහී බලවේගයන්ට මාගේ මාතෘ භූමියේ ජනතාව පාවා දීමට මට නොහැක.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් පී. වීරසේකර වීඑස්වී,ආර්ඩබ්පී,යූඑස්පී.

No comments:

Post a Comment