Saturday 16 July 2016

ආගම කුමක් වුවද ඇත්තේ එකම දෙවියෙකි - ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි පෙරේරා විසිනි






- ජ්‍යෙෂ්ඨ නීතිඥ    ගාමිණි පෙරේරා විසිනි


ශ්‍රී ලාංකිකයන් අතරින් බහුතරය බෞධයන් බව අවිවාදාත්මක කරුණකි. ඊට අමතරව මෙරට ආගමික සංකලනය ගැන සැලකුවහොත් ක්‍රිස්තියානි හා  කතෝලිකයන් මෙන්ම හින්දු සහ ඉස්ලාම් ලබ්ධිකයන්ද දක්නට ලැබේ.එමෙන්ම හොඳින් සොයා බැලුවහොත් නිශ්චිත ආගමක් වැළඳ නොගත් පිරිසක්ද අප අතරම සිටින බව දැන් දැන් පෙනෙන්නට තිබේ.




ආගම ගැන පැරැන්නෝ කියන කථාවක් මගේ මතකයට එයි.

"ආගමක් ධර්මයක් නැති එවුන් ගැන කතාකරල වැඩක්නෑ" යන්නයි ඒ.

මෙයින් කියා සිටින්නේ "ආගමක" හෝ "ධර්මයක" හෝ  පිහිටා නොමැති අය  ගැනවේ. "ආගම" හා  "ධර්මය"  අතර වෙනසක් පවතින බව පැරැන්නෝ පවා දැන ගෙන  තිබුණු බව සිතා ගැනීමට හැකිවේ. එහෙත් ඒ වෙනස කුමක්ද යන්න මේ අවස්ථාවේ සාකච්චා කිරීමට මම බලාපොරොත්තු නොවෙමි.

කෙසේ වෙතත් ඉහත කි පැරැන්නන්ගේ කියමනේ අනෙක් පැත්ත වන්නේ ආගමක් ධර්මයක් පිළිපදින්නන් ගැන පැරණි සමාජය සුභවාදිව බැලූ  බව වේ.


එදවස ආගමක් ගැන කතාකලද ඒ කුමන ආගමද කියා සීමාවක් යොදා නොමැති හෙයින් ඔවුන් ඉතා සරල අර්ථයෙන් එසේ සඳහන් කලද එහි ගැඹුරු අරුතක් ඇතැයි  මට සිතේ. ඒ වෙනෙකක් නොව අනෙකාට කැමති ආගමක් ධර්මයක් ඇදහීමේ හෝ පිළිපැදීමේ නිදහසට ඔවුන් බලපෑමක් වන ලෙස වචනයෙන් හෝ ක්‍රියා කර නැති බව වේ. වෙනත් විදියකින් කිවහොත් අද අප බැරෑරුම් ලෙස කල්පනා කරන "ආගමික සංහිදියාව" ප්‍රයෝගිකව සමාජගත වී තිබුන බව එමගින් සාක්ෂි සපයයි. ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වූ එකම දෙය වුයේ මිනිසා කුමන හෝ ආගමක හෝ ධර්මයක ආභාෂය ලැබීම අත්‍යවශ්‍ය බව පමණකි.

අප රටේ පවතින අප මුලින් සඳහන් කල ආගමික ප්‍රජාවන්ට අමතරව වත්මන් ගෝලීයකරණයේ බලපෑම් මත, එක් ආගමක් පමණක් ඇදහීම අනිවාර්ය යැයි නොසිතන අයත් බෙහෙවින් දක්නට ලැබේ. වත්මන් සමාජයේ බහුතරයක් එක ආගමක් පමණක් ඇදහීම යන සංකල්පයෙන් තුරන් වී ඇති බව මගේ අදහසයි.

නිදසුනක් ලෙස ගතහොත් බෞද්ධයන් ලෙස ස්වකීය  ආගම හඳුන්වා දෙන බොහෝ අය  හින්දු කෝවිල්වල පූජාවන්ට යොමුවී සිටීම, පෙන්වා දිය හැකිවේ.කෙනෙකුට මෙය ආගමික සහජීවනය හෝ ආගමික සන්හින්දියාවේ දිගුවක් ලෙස හුවා දැක්වීමට හැකිවේ. අනෙක් අතට ස්වකිය ලෞව්කික ස්වාර්තයන් සපුරා ගැනීමේදී ආගම යන්න එකකට සීමා  කර නොගත යුතු යැයි  තවකෙකුට තර්ක කල හැකිවේ.

අප දන්නා පරිදි ඉස්ලාම් භක්තිකයෝ සාමාන්‍යයෙන් අනෙක් ආගමික ස්ථාන/සිද්ධස්ථාන  වැඳීම හෝ අදාළ ආගමික කටයුතුවල යෙදීම සිදු නොකරති. ඔවුහු  ප්‍රතිමා, රූප හෝ සංකේත වන්දනාමාන නොකරන අතර ප්‍රධාන වශයෙන් ස්වකීය ආගමික ශාස්තෘන්ගේ ඉගැන්වීම් පුනරුච්චාරණය කරමින් එවැනි ශාස්තෘන් කෙරෙහි වූ අප්‍රමාණ ලබ්ධියෙන් යුතුව,  අදාළ ඉගැන්වීම් මත පිහිටා ස්වකීය ජිවිත සාක්ෂාත් කර ගැනීමේ අදිටනින් යුතුව නමස්කාර කරති.

හින්දුන්, බෞද්ධ පන්සල්, ඉස්ලාම් පල්ලි හෝ කතෝලික දේවස්ථානවලට ගොස් වැඳුම් පිඳුම් නොකලද, බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව පවතින දේවාලවලට ගොස් වැඳුම් පිඳුම් කිරීම සාමාන්‍ය දෙයක් බවද පෙනී යයි. ඊට අමතරව සමහර හින්දු දේවස්ථාන ආශ්‍රිතව බුදුන් මෙන්ම ජේසුන් ද නිරුපනය වන දේව සභාවක් සහිත ප්‍රතිමා පවතින බවත්, පොදුවේ බහු දේව වන්දනාවක හින්දුන් යෙදෙන බවත් නොරහසකි.

කෙසේවෙතත්, බෞධයන් මෙන්ම අනිකුත් ආගමිකයන් ඉස්ලාම් පල්ලියකට ගොස් අදාළ නමස්කාරයන් සිදුකිරීමට යොමුවුණු අවස්තාවන් මා අසා නැත. බෞධයන් හෝ හින්දුන්; කතෝලික පල්ලි ආශ්‍රිතව  යම් යම් අවස්ථාවල ස්වර්තයන් උදෙසා එසේ වැදුම් පිඳුම් කරන අවස්ථාද දක්නට ලැබෙන අතර; බොහෝවිට එසේ වනුයේ ප්‍රසිද්ධ කතෝලික සිද්ධස්ථාන ආශ්‍රිතව බවද පෙනී යයි.

ඉහත කරුණු සැලකීමේදී සුවිශේෂී එක කරුණක් ප්‍රකටව හඳුනා ගත හැකිවේ. ඒ ඉස්ලාම් බැතිමතුන්ගේ ස්වකිය ඇදහීම් පොදු සමාජයෙන් වෙන්ව සිදුකෙරෙන බවත්, ඔවුන්ගේ ආගමික වැඳුම් පිඳුම් හා නමශ්කාරයන් පිළිබඳව අන්‍ය ලබ්ධිකයනට ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බවත් වේ.

බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි හෝ හින්දු ආගම අදහන්නවුන් හැඳින්වීමට නිශ්චිත "ජාතියක" නමක්  නොමැති අතර,සිංහලුන්, දෙමළුන් හා බර්ගර්වරුන් ඉස්ලාම් ආගම හැර අන් ඕනෑම ආගමක් ඇදහුවද ඔවුන්ගේ ජාතීය  අනන්‍යතාවය වෙනස් නොවේ.

එහෙත් ඉස්ලාම් ආගම වැළඳ ගන්නවුන් හෝ ඉස්ලාම් ලබ්ධිකයන් "මුස්ලිම්" යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වේ. එහෙත් මෙරට වසන මැලේ  සම්භවයක් සහිත අයද ඉස්ලාම් ආගම ඇදහුවද ඔවුන් "මුස්ලිමුන්" යනුවෙන් හඳුන්වනවා වෙනුවට "මැලේ " යනුවෙන්ම හැඳින්වේ. මේ වෙනස අනුව ඉස්ලාම් ආගම අදහන මැලේ  ජාතිකයන් "Malay "   යනුවෙන්මද අන් අය "මරක්කල" (Moor ) යනුවෙන්ද හැඳින්වේ. එසේ ගත්  කල්හි අප රටේ ආගම මුල්කොට ජාතියක් නිරුපනය වන්නේ මුස්ලිම් ජාතිකයන් නැතහොත් " මරක්කලුන්" සම්බන්ධයෙන් පමණක් වේ.

අද සමාජයේ සමහර කොටස් ආගමික සහජීවනයට හරස්වන ක්‍රියාවන් සිදුකරන බවට වාර්ථා වන අවස්ථාවන් තිබේ. එහෙත් බැලූ  බැල්මට අප රටේ පවතින සෑම  ආගමකම පාහේ මනුෂ්‍ය වර්ගයා හික්මවීම; හොඳයැයි සම්මත දේ කෙරෙහි යොමුකරවීම; දෙමාපිය,ගුරුවරු හා වැඩිහිටියන්ට ගරු කිරීම හා  සැළකීම; එකිනෙකා කෙරෙහි ආදරය, කරුණාව හා සහෝදරත්වය දැක්වීම මෙන්ම සමානාත්මතාවය සුරැකීම වැනි දෑ  කෙරෙහි ස්වකිය ලබ්ධිකයන් යොමු කිරීම පොදු ලක්ෂණයන් හෝ  පොදු අරමුණු බව අවිවාදාත්මකවේ.

විවිධ ආගම් අතර විවිධ චින්තනයන් හා බැඳුනු දර්ශනයක්/ඉගැන්වීමක්/ ඇදහීමක්/ලබ්ධියක් පවතී. ඒවා අතර විවිධ පරස්පර තත්වයන්ද පවතී. ඒවා පිළිබඳව දීර්ඝව  සාකච්චා කිරීම වෙනමම සිදුකල යුත්තකි.

කෙසේවෙතත් ශ්‍රී ලාංකිකයන් අතර පොදුවේ;  ස්වකිය ආගම ආශ්‍රිතව "දේව" සංකල්පයක් පවතින බව පෙනී යයි.  ක්‍රිස්තියානි හෝ කතෝලික බැතිමත්හු  ජේසුස් වහන්සේ (Jesus ) හෝ ජේසුන්ගේ පීතෘ  වූ සර්වබලධාරී දෙවියන්වහන්සේ (Lord /God ) හෝ  ජේසුන්ගේ  මාතෘ වූ ශුද්ධවූ මරිය මාතාවන් හෝ (holy mother ) පිළිබඳව විශ්වාසය පදනම් කරගෙන වතාවත් හා වන්දනා මාන කරත්.

හින්දු භක්තිකයෝ බහුවිධ දෙවියන් ඇදහීම හා ප්‍රසස්ථ ගායනා කිරීම් තුලින් දෙවියන් කෙරෙහි සමීප වීමට උත්සාහ ගනිති. ඉස්ලාම් ලබ්ධිකයෝ  "අල්ලා දෙවියන් " උතුම්කොට ස්වකිය ඇදහිලි හා සමාජ සංකල්ප ගොඩනගා ගනිති.

බෞද්ධ දර්ශනය තුල දෙවියන් වන්දනාමාන කිරීමට නියම කොට නොමැති වුවද වර්තමාන ප්‍රායෝගික යථාර්තය වන්නේ දෙවියන්, බඹුන් සහිත ලෝකයේ දෙවියන්ගේ ආශිර්වාදයන්ද බෞද්ධ ආගම අදහන්නවුන් විසින්  නිශර්ගයෙන්ම බලාපොරොත්තු වීම  සුලභ වූත් මෙන්ම සාමාන්‍යකරණය වුත් සංසිද්ධියක් බව වේ.

මෙකි කරුණු අශ්‍රිතව මා දකින්නේ සෑම  ආගමිකයකුටම තමන්ගේ  "දෙවියන් වහන්සේ" තමා වෙත පිහිට ලබා දීමට කාරුණික වන්නැයි අයැදීමට  හෝ වඩාත් පුළුල් අර්ථයෙන් ගතහොත් තමාගේ "දෙවියන් වෙත සමීප වීම" ට ආගම කුමක්ද යන්නෙන් පරිබාහිරව ක්‍රියා කිරීමට පෙළඹී ඇති බව වේ.

මර්සිලීනු ජයකොඩි" පියතුමා 
මෙවන් අවස්ථාවක මගේ මතකයට නැගෙන්නේ "පන්සලේ පියතුමා" යන විරුදාවලියෙන් පිදුම්ලද "මර්සිලීනු ජයකොඩි" පියතුමා විසින්    මා කුඩාකල රච්ත කවි පන්තියකින් තවමත් මගේ මතකයේ පවතින එක්තරා කවි දෙපදයකි.

එයනම්;
"දුගද සුගද වන දිය මල් නැළවෙන තොටිල්ල මඩවලය 
 මිනිසා දෙවියන් වන තැන නුදුරුය ඒ හදවත     තුලය"

කවියකු වශයෙන් සම්මානනීයත්වයට පත් ඒ ශ්‍රේෂ්ඨ මානව වාදියා ගේ ඉහත කවි දෙපදය  ආගම  කුමක් වුවත් නිර්ආගමික  වුවත්  ඒ සෑම  අයකුටම එක හා සමානව අදාළ වන බවත්, ආදේශ කරගත හැකි බවත් මගේ හර්දයාංගම  අදහස වේ.

ශ්‍රී ලාංකික සහෝදර ජනතාව මොන ආගම ඇදහුවත් තම හදවත් තම තමන්ගේ දෙවියන්ට වැඩ සිටීමට සුදුසු ආකාරයේ අල්තාරයක්; පල්ලියක්; කෝවිලක් හෝ දේවාලයක් කර නොගන්නාතාක් අප එකිනෙකා වෙන්ව බලාපොරොත්තුවන ගැලවුම්කාරයානන්, දෙවියන්වහන්සේ හෝ පිහිට ලබාදෙන කුමන දෙවි-දේවතාවෙක් වත් අපට සමීප නොවන බව නම් පරම සත්‍යයක් වනු ඇත.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි  පෙරේරා විසිනි.

1 comment:

  1. මෙම ලිපිය ලියන ලේඛකයා ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි පෙරේරාය . ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රකට නීතීඥයෙකි . පුරා වසර තිහකට අධික කාලයක් නීති ක්ෂේත්‍රයේ සුවිසල් අත්දැකීම් වලින් පරිපූර්ණ වූ නීතිඥ ගාමිණි , ලෝකය දෙස වඩාත් පුළුල් ඇසකින් විමර්ශනාත්මකව අවධානය යොමු කරන්නෙකි.මහා බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ නීති උපදේශකයෙකු ලෙස ද කටයුතු කරන හෙතෙම ඉතිහාසය , පුරාවිද්‍යාව , සමාජ විද්‍යාව, හා නුතන සන්නිවේදන ප්‍රවනතාවයන් පිළිබඳව පර්යේෂණාත්මක අධ්‍යයනයන් රැසක නිරතව සිටී . ලිපිය කියවා බලා සුදුසුනම් තවත් කෙනෙකුට කියවීමට Share කරන්න . ඔබේ අදහසත් එකතු කරන්න .

    ReplyDelete