Thursday 21 July 2016

'අතුරුදන් කාර්යාලය' පිහිටුවීමේ පනතට ඡන්දය දෙන්නන්ට ජනතාවට වගකියන්න වෙයි

ආරක්‌ෂක හමුදාව දඩයම් කිරීම සඳහා යහපාලන ආණ්‌ඩුව ඉදිරිපත් කර ඇති අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත නීතියක්‌ බවට හැරවීමට ඡන්දය දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රට, ජාතිය සහ සන්නද්ධ හමුදාවන් පාවාදීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

මෙම පනත් කෙටුම්පතේ බරපතළ වගන්ති ගණනාවක්‌ම ආරක්‌ෂක හමුදාව දඩයම් කිරීම සඳහා ඇතුළත් කර ඇති බවද ඒ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය මෙසේය.රටේ සියලුම දේශපාලන හා ආර්ථික ව්‍යාකූලතා මධ්‍යයේ වුවත් ආණ්‌ඩුව 'අතුරුදන් වූවන්ගේ කාර්යාලය' නමින් හැඳින්වෙන ආයතනයක්‌ පිහිටුවීමට පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මස ආණ්‌ඩුව බටහිර බලවතුන් සමග එකතු වී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ 'යටගියාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට', පිහිටුවීමට එකඟ වූ ආයතනවලින් එකකි. යෝජිත අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත් කෙටුම්පතේ අපේ ආරක්‍ෂක හමුදා දඩයම් කිරීමට සම්පාදනය කර ඇති වගන්ති ගණනාවක්‌ම තිබෙන අතර ඉන් කිහිපයක්‌ මෙහිදී ගෙනහැර දැක්‌වීමට මම කැමැත්තෙමි.

1. මෙකී අතුරුදන් වූවන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ යුක්‌තිය පසිඳලීමේ ආයතන පද්ධතියේ කොටසක්‌ වන්නේ නැත. මෙය පාර්ලිමේන්තුව විසින් සංස්‌ථාපිත ස්‌වාධීන ආයතනයක්‌ වන අතර එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය නීතිරීතිවලට පිටින් කටයුතු කිරීමට හැකියාව ලැබේ.

2. මෙය 'කාර්යාලයක්‌' ලෙසට හැඳින්වුව ද එය සැබවින්ම විමර්ශන සභාවකි. මෙම අතුරුදන් වූවන්ගේ කාර්යාලයට සාක්‌ෂිකරුවන් ගෙන්වා පරීක්‌ෂා කිරීමටත්, කැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, විභාග පැවැත්වීමටත් බලය ඇත. මෙම ආයතනයේ නිලධාරීන්ට වරෙන්තුවක්‌ නොමැතිව වුවද, ඕනෑම වෙලාවක පූර්ව දැනුම්දීමකින් තොරව, ඕනෑම පොලිස්‌ ස්‌ථානයකට, බන්ධනාගාරයකට හෝ ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුල් වීමටත්, විමර්ශනය කිරීම සඳහා ඕනෑම ලියවිල්ලක්‌ හෝ භාණ්‌ඩයක්‌ තම සන්තකයට ගැනීමටත් බලය ඇත. මෙකී කාර්යාලයට සහයෝගය නොදක්‌වන ඕනෑම අයෙකුට උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඩුවම් කළ හැක.

3. පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පනත් කෙටුම්පතට අනුව අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන් හත් දෙනාට විමර්ශන පැවැත්වීම පිළිබඳ අත්දැකීම් මෙන්ම මානව අයිතීන් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳව දැනුමක්‌ද තිබිය යුතු බව කියවේ. මේ අනුව එහි සාමාජිකයන් වීමට සුදුසුකම් ලබන්නේ බටහිර මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් සහ බටහිර අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණවල සේවය කළ අය පමණි.

4. පනත් කෙටුම්පතේ 21 වන වගන්තියට අනුව ඕනෑම විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් Rජුවම අරමුදල් ලබා ගැනීමට අතුරුදන් වූවන්ගේ කාර්යාලයට බලය පැවරේ.

5. ආයතනයේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අතුරුදන් වූවන්ගේ කාර්යාලයට ඕනෑම විදේශීය පුද්ගලයෙකු හෝ සංවිධානයක්‌ සමග ගිවිසුම්වලට එළඹීමට හැක.

6. අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන්ට එම ආයතනය තුළ විවිධ අංශ හා ඒකක පිහිටුවා තමාගේ බලතල එම ඒකකවලට පැවරිය හැක. කාර්යාලයේ සේවකයන් පත් කරන්නේත්, ඔවුන් සේවයෙන් පහ කරන්නේත් එම ආයතනය විසින්ම පමණි. මේ කාර්යාලයේ සේවකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවට කිසිදු වගන්තියක්‌ පනත් කෙටුම්පතේ නැත.

7. මෙම කාර්යාලයට, අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගෙන් හා මිතුරන්ගෙන් මෙන් ම වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ සංවිධානයකින් වුවද පැමිණිලි භාරගත හැක.

8. ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ ඇතුළු සියලුම ආණ්‌ඩුවේ ආයතන මෙකී අතුරුදන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට බැඳී සිටින අතර රාජ්‍ය රහස්‌ පනතේ විධි විධාන ද එහිදී බල රහිත වේ.

9. අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පතේ 12 (ඇ) (සසස) වගන්තියට අනුව සාක්‌ෂි ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් වුවද ඕනෑම ප්‍රකාශයක්‌ හෝ භාණ්‌ඩයක්‌ 'සාක්‌ෂි' ලෙසට පිළිගැනීමට මෙම කාර්යාලයට බලය පැවරේ.

10. මෙම කාර්යාලයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත බල රහිත වේ. මෙකී කාර්යාලයේ නිලධාරියෙකුට ලැබුණු රහස්‌ තොරතුරු ගැන කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුළුව මොනම උසාවියකටවත් බලයක්‌ නැත.

මෙම කරුණු අනුව අපට පෙනී යන්නේ මෙම අතුරුදන් වූවන්ගේ කාර්යාලය යහපාලන ආණ්‌ඩුව පිහිටුවීමට එකඟ වී තිබෙන යුද අපරාධ විමර්ශන යාන්ත්‍රණයේ එක්‌ කොටසක්‌ බවයි. මෙම පනත් කෙටුම්පත නීතියක්‌ බවට හැරවීමට ඡන්දය දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටත්, ජාතියත්, සන්නද්ධ හමුදාවනුත්, පාවා දීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සිදුවනු ඇත.- හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂගෙන් නිවේදනයක්‌

No comments:

Post a Comment