Wednesday 29 March 2017

“මා ජිනීවා ගියේ මගේ වගකීම ඉටුකරන්නයි” - රියර් අද්මිරාල් සරත් වීරසේකර

රියර් අද්මිරාල් සරත් වීරසේකර
ප්‍ර- ඇයි ඔබ ජිනීවා ගියේ?

පි- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පසුගිය යුද සමයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යුද අපරාධ කළ බවට චෝදනා කළා. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ පදනම් විරහිත කරුණු. 2015 මානව හිමිකම් සමුළුවේ දී සම්මත වූ යෝජනාව පිළිගනිමින් ශ්‍රී ලංකා රජයත් ඒ චෝදනා ගැන හොයන්න භාරගත්තා. ඒ නිසයි දෙමුහුන් අධිකරණයක් මගින් ඒ ගැන විමසන්නට එකඟ වුණේ.

කොටි ඩයස්‍පෝරාවත් මේ චෝදනාව කරනවා. ඇත්තෙන්ම අපේ හමුදාව කළේ කොටි සංවිධානයේ අමානුෂික ග්‍රහණයෙන් අහිංසක දෙමළ ජනතාව මුදාගැනීමයි. මේක කවුරුත් පැහැදිලිව කියන්නේ නැහැ. නමුත් ඒක කියන්න මට යුතුකමක් හා වගකීමක් තියෙනවා. ඒ නිසයි මා ජිනීවා ගියේ.


ප්‍ර- අප දන්න හැටියට තනි පුද්ගලයකුට එක්සත් ජාතීන්ගේ සමුළුවකට ගිහින් අදහස් දක්වන්න බැහැ. ඔබ සහභාගි වූයේ කවර සංවිධානයක් නියෝජනය කරලද?

පි- මම ලංකාවේ ඉඳලා සැලසුම් කරලා ගියේ ස්විට්සර්ලන්තයේ පන්සලක ලියාපදිංචි වෙලා ජිනීවා සමුළුවට සහභාගි වෙන්නයි. මොකද රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයකු හැටියට ඊට සහභාගි වෙන්න පුළුවන්. හැබැයි අවසාන මොහොතේ දී පන්ස‍ලේ දායක සභාව මට විරුද්ධ වුණා.

ප්‍ර- දායක සභාව ඔබට විරුද්ධ වුණේ ඇයි?

පි- ඔවුන් මට විරුද්ධ වුණේ මං මහින්ද රාජපක්ෂවාදියකු ලෙස සලකලයි. මේ වනවිට කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන සියයකට අධික ප්‍රමාණයකුත් ලියාපදිංචි වෙලා තිබුණා.

ප්‍ර- ඉතින් ඔබ මොකද කළේ?

පි- පස්සේ තවලම ධම්මික හාමුදුරුවන්ගේත් උදව්වෙන් එංගලන්තයේ බර්මින්හැම් විහාරාධිපති විතාරන්දෙණියේ කාශ්‍යප නාහිමියන්ගේ ජාත්‍යන්තර බෞද්ධ සහන සේවා සංවිධානයේ නියෝජිතයකු හැටියට මං ලියාපදිංචි වුණා. ඇත්තෙන්ම මේ ස්වාමීන් වහන්සේලා මට ලොකු අනුග්‍රහයක් දක්වූවා. ඒක මට ‍නෙවෙයි අපේ මවුබිමට කළ අනුග්‍රහයක්. එහෙම ලියාපදිංචි වුණාට පස්සේ තමයි මං මගේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබාගත්තේ.

ප්‍ර- ඔබ මොනවද කිව්වේ?

පි- කොටි සංවිධානය ඉතාම ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් බව මං පෙන්වා දුන්නා. ඒ ත්‍රස්තවාදී සංවිධානයට එරෙහි මෙහෙයුම්වල දී අපේ සෙබළුන් 29,000ක් මවුබිම වෙනුවෙන් ජීවිත පූජා කර 14,000ක් ආබාධිත වූ බව මං අවධාරණය කළා.

යම් හෙයකින් එවැනි දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කළ අපේ හමුදාවේ අයට යුද අපරාධ චෝදනා එල්ල කර දඬුවම් කරන්නේ නම් ඒක හරියට ඔසාමා බින් ලාඩන් ඇතුළු අල්කයිඩා ත්‍රස්තයන් ඝාතනය කළා යැයි ඇමෙරිකාවේ සීල් භටයන්ට දඬුවම් කිරීම හා සමාන යැයි මම පෙන්වා දුන්නා. ඇත්තෙන්ම මානව හිමිකම් කොමිසම පදනම් විරහිත කරුණු මුල්කරගෙන ශ්‍රී ලංකා හමුදාවට චෝදනා කළත් බ්‍රිතාන්‍ය අගමැතිනිය තම හමුදා සෙබළුන්ට එල්ල කළ යුද අපරාධ චෝදනාවලට එරෙහිව ප්‍රබල හඬක් නැගුවා. අවාසනාවන්ත ලෙස එවැනි දේශප්‍රේමී නායකයන් අපට නොමැතිවීම කනගාටුවට කරුණක්.

ප්‍ර- ඔබට මොනවගේ ප්‍රතිචාරද ජිනීවා නුවරින් ලැබුණේ?

පි- එක් විදෙස් කණ්ඩයාමක් මං ළඟට ඇවිල්ලා පිටට තට්ටුවක් දාලා කිව්වා දැන් තමයි අනෙක් පැත්ත ගැන හරියට දැනගත්තෙ කියලා. මොකද ඔවුන් ඒ වන තෙක් දැනගෙන හිටියේ කොටි ඩයස්‍පෝරාව ප්‍රචාරය කළ ප්‍රලාප පමණයි.

ප්‍ර- ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත කණ්ඩායම ඔබත් සමග ජිනීවා නුවර දී කතා කළාද? ඔබ ඔවුන් හමු වුණාද?

පි- නැහැ. ආණ්ඩුවේ දූත කණ්ඩායම නොදැක්ක ගානට මාව මගඇරලා ගියා. ඒ වෙනකොට හිටියේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා. තමන්ට චෝදනාවක් එල්ල වේ යැයි කියන බියෙන් තමයි ඔවුන් මාව මගඇරියේ.

ප්‍ර- ශ්‍රී ලංකාවෙන් තව කවුද ජිනීවා නුවරට ගිහින් හිටියේ?

පි- කොටි වෙනුවෙන් කතා කරන්න විශාල පිරිසක් ගිහින් හිටියා. පාක්‍යසෝති සරවණමුත්තු, සිවාජිලිංගම්, ආනන්දි ශසිදරන්, ආනන්ද සංගරීගේ පුතා, සමන් රත්නප්‍රිය, සුනන්ද දේශප්‍රිය, නිමල්කා ප්‍රනාන්දු ආදීන් ඩොලර් වෙනුවෙන් අපේ රටටත් ශ්‍රී ලංකා හමුදාවටත් එරෙහිව කතා කරන්න ගිහින් හිටියා.

නිමල්කා ප්‍රනාන්දු නමැත්තිය ඇගේ කතාව පටන්ගත්තේ තමන් පසුගිය ආණ්ඩුව නිසා පීඩාවට පත් කාන්තාවක් යැයි ප්‍රකාශ කරමිනුයි. නිමල්කාට පසුගිය ආණ්ඩුවෙන් එල්ල වෙච්ච පීඩනය මොකක්ද කියලා අපි නම් දන්නේ නැහැ.

ප්‍ර- ඇත්තෙන්ම ඔබ කළ කාර්යය කෙතරම් බලපෑම් සහගත විය හැකිද?

පි- අපේ රට හා හමුදාව පැත්තෙන් මං විතරයි කතා කළේ. ඒකෙන් යම් පණිවිඩයක් ලෝකෙට ගියා. ඒ වගේම ඊළඟ සැසිවාරයේ දී මා කළ කාර්යයේ බලපෑම කෙබඳු එකක් ද කියලා දැනගන්න පුළුවන්. ඊළඟ මානව හිමිකම් සැසිවාරයට අපි කණ්ඩායමක්ම යා යුතුයි.

ප්‍ර- ඔබ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානීන් හමු වුණාද?

පි- නැහැ. නමුත් මානව හිමිකම් කොමසාරිස්ගේ ‍ලේකම්ට මම මගේ ලියැවිල්ල භාර දුන්නා.
(රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ජිනීවා ගමන පිළිබඳ 2017 මාර්තු මස 26 වැනි ඉරිදා රිවිර පත්‍රයේ පළවූ ලිපිය. - සැකසුම වරුණ අබේසේකර)

No comments:

Post a Comment