Friday 19 April 2019

ඔවුන්ගේ අපේක්ෂාව පවුම් 27ක් ඩොලර් 35ක් කපා ගැනීමට වඩා ඉහළ ය. අප තේරුම් ගත යුත්තේ එයයි.

- දක්ෂිණ බෝධිනායක විසිනි.
මැයි 1 සිට එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, ඕස්ට්රේලියාව, නවසීලන්තය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 30 කට වඩා වැඩි සංඛ්‍යාවකින් එන විදෙස් සංචාරකයෙකුගෙන් විසා ගාස්තු අය නොකෙරේ. එය මාස 6 ට හෝ කිසියම් ප්‍රවර්ධන කාලයකට හෝ හඳුන්වාදීමට උත්සාහ කරන්නේ ඇයි ? මේ හදන්නේ තවත් අත්තනෝමතික "දේශපාලන තීන්දුවකට" පාර හදා ගැනීමට නොවේද ?
ශ්‍රී ලංකාවට ඒමට ගන්නා වීසා ගාස්තුව ඇමරිකානු ඩොලර් 35 කි. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න, මෙලෙස ගන්නා වීසා ගාස්තුවත් නැති කර දැමීම රටට වාසිදායක වන්නේ කොහොමද ..? නිදසුනක් ලෙස වසරකට මිලියන 2.5 ක් ( 2017 වසරේ මිලියන 2.1) රටට සංචාරකයින් ලෙස ඇතුල් වුවහොත් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 90ක් රුපියල් මිලියන 15000 කට වැඩියෙන් රටට අහිමිවේ. 
අනෙක් කරුණ ශ්‍රී ලංකාවට සංචාරයක් සඳහා ඇමරිකානු ඩොලර් 35ක් ගෙවා ගත නොහැකි අයත් එනවාද යන්නය . තවත් පැත්තකින් මේ ඩොලර් 35 වැනි මුදලත් ගෙවා ගත නොහැක්කෙක් වේ නම් එවැනි සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමෙන් රටට ඇති ආර්ථික ප්‍රයෝජනය කුමක්ද ? 
රෙදි මදින ඉස්තිරික්කයෙන් රොටි පුච්චන් කන සංචාරකයින්ට නම් "මේ ඉඩ" ඔවුන් ලංකාවෙන් කීයක් හෝ හොයාගෙන යන්න එන පිරිසක් මිස අපේ රටේ හරි හමන් වියදමක් කරන්නට වත් එන අය විය හැකිද?

මෙලෙස රටට ලැබෙන සෘජු මුදලත් ලත් තැනම ලොප් කරගෙන සංචාරක ප්‍රවර්ධනයක් කවරෙකු හෝ අපේක්ෂා කරන්නේ නම් එය කොතරම් දුරට ප්‍රායෝගිකද ? 

ලොව පුරා සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට ක්‍රමානුකූල ප්‍රායෝගික වැඩපිළිවෙලකට දේශීය බුද්ධිමතුන්ගේ උපදෙස් හා අදහස් අධ්‍යනය ඔස්සේ ගමන් කල යුතුය. කර්මාන්තයේ නිරත අත්දැකීම් ඇති පිරිසගේ ප්‍රායෝගික අවබෝධයන් මෙහිදී ඉතා වැදගත්ය. එමෙන්ම අනෙක් රටවල් පිළිබඳවද ඔවුන් ක්‍රියාත්මක වන්නේ කවරාකාරයකටද යන්න පිළිබඳව ද උනන්දු වියතුය. මියන්මාරයේ ( බුරුමයේ ) සංචාරක වීසා ගාස්තුව (සාමාන්‍ය) ඇමරිකානු ඩොලර් 50ක් වේ. ලංකාවේ තරම් අරුමැසි ආටෝප සාටෝප විජ්ජා නොමැති බුදුදහමට හා වෙනත් සමාජ සංස්කෘතීන්ට ගරු කිරීමට මනා අවබෝධයකින් එන්නැයි කියාද සංචාරකයින්ට පැහැදිළිව කියන රටක අද ත් අපට වඩා ඉහල සංචාරක පැමිණීමක් පවතී.
මාලදිවයින,කාම්බෝජය,වියට්නාම්,තායිලන්තය,ඉන්දියාව,නේපාලය, බංග්ලාදේශය,මේ සියළු රටවල් අදටත් තමන්ට ලැබෙන වීසා ගාස්තුව නැති කරගෙන ඔවුන්ගේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ගොස් නැත. ලැබෙන දේ නැති කරගෙන අලුත් දෙයක් ගැන සිතීම නුවණක් නොවේ. පළමුව තිබෙන දේ රැකගත යුතුය. අනෙක් කරුණ විශේෂයෙන්ම එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, ඕස්ට්රේලියාව, නවසීලන්තය, වැනි රටවලින් ලංකාවට එන සංචාරකයා අවම වශයෙන් පවුම් තුන්හාරදහසක් තම සංචාරය සඳහා වැයකළ යුතුය. ඔවුන් අපේක්ෂා කරන්නේ ඉන් පවුම් 27ක් ඩොලර් 35 ක් අඩුකරගැනීම නොවේ. ඊට වඩා වෙනත් කරුණු ගණනාවකි. ප්‍රීතිමත් සාර්ථක ආරක්ෂාකාරී සංචාරයක් නිමකිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. කෑම බීම නවාතැන් රටතුල ගමනාගමනය නිවැරදි මග පෙන්වීම උසස් පහසුකම් විශ්වාසදායි සේවවාවන් වලට ඔවුන් විශේෂ අවධානයක් දෙයි. එවැනි කරුණු පිළිබඳව නිවැරදි හා වඩාත් ඉහල අත්දැකීමක් ඔවුන්ට ලබාදිය හැකි නම් ඊටවඩා ප්‍රවර්ධනයක් තවත් නැත.

ලැබෙන දේ වැඩිකර ගැනීමට වඩා නැතිකර ගැනීම පහසුය. එලෙස නැති කරගත් දේ ඇති කරගන්නට යාම විටෙක බොහෝ අසීරු වනු ඇත.

- දක්ෂිණ බෝධිනායක

No comments:

Post a Comment