Wednesday 31 July 2019

ජනපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයෙක් මා හමුවෙන්න එන්න එපා -මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිසන් සභාවක් පත්කර එම ජනතාවට යුක්තිය ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයකු තමන් මුන ගැසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවැසූහ.


ලාභ ප‍්‍රයෝජන බලන්නේ නැතුව අවංකව ජනතාවට සත්‍ය දැනගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙස නායකත්වයෙන් ඉතා ඕනෑකමින් නැවත නැවතත් ඉල්ලා සිටින බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.

නායකයින් පිට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න යැයි තමන් කළ දේශනයේදී ජනාධිපති, අගමැති යැයි කියා ප‍්‍රකාශ නොකළ බවත් ජනාධිපතිවරයා එය පිළිගත්තේ නම් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.

‘‘මුළු රටම කම්පනයට පත්කළ, රටේ ආර්ථීකය ආගාධයට ඇද දැමූ පාස්කු ඉරිදා කුරිරු ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදු වී දැන් මාස තුනකටත් වැඩියි. අම්මා නැති දරුවන්, තාත්තා නැති දරුවන්, දරුවන් අහිමි දෙමාපියන්, මුළු පවුලම අහිමි වූ ඥාතීන්ගේ තොරතුක් නැති දුක්ඛිත කඳුළු කතා වලට සවන් දෙමින්, හැකි අයුරින් ඔවුන්ව සනසන්නට වෙහෙසෙමින් මා සිටිනවා. ඔවුන් බොහෝ දෙනෙක් කඳුළු සලමින් මට කියා සිටින්නේ ”අනේ අපට වන්දි එපා, සල්ලි එපා, යුක්තිය ඉෂ්ඨ කරන්න. මේ සිදුවෙච්ච දේ ගැන සම්පූර්ණ සත්‍යය අපට හෙළි කරන්න” කියායි.

මේ කුරිරු ත‍්‍රස්ත ප‍්‍රහාරය පිටුපස සිටින අය, එය කුමන්ත‍්‍රණ කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග‍්‍රහය දැක්වූ අය, කල්තියා ලැබුණු බුද්ධි තොරතුරු හිතාමතා නොසළකා හැරි අය, සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත් වූවත් පුළුල් වග විභාගයකින් තොරව නිදහස් කරනු ලැබූ අය, කිසිදු දඬුවමක් නොලබා තවම නිදැල්ලේ සැරිසරන බව පැහැදිලියි. මේ මහා ඛේදනීය ප‍්‍රහාරය සිදුවීමට පෙරත්, එම ප‍්‍රහාරය සිදු වූ පසුත් මේ පිළිබඳව තවම යුක්තිය ඉටු වී නැති බවත්, සත්‍යය වසන් කරන්නට බොහෝ ප‍්‍රයෝග යොදමින් සිටින බවත් අපට පෙනෙන්නට තිබෙනවා.

ආණ්ඩු පක්ෂය අතින් පමණක් නොව, විරුද්ධ පක්ෂය අතින් ද අනෙකුත් පක්ෂ වලින් ද මේ සම්බන්ධයෙන් සිය වගකීම ඉටු නොවුණූ බව අපි අවධාරණය කළ යුතුයි. මෙවැනි අවස්ථාවක අපි විරුද්ධ පක්ෂයෙන් සහ ආණ්ඩු පක්ෂයෙන් බලාපොරොත්තු වන්නේ තම තමන්ට ලකුණු දමා ගැනීම සඳහා මෙම සිද්ධිය භාවිතා කිරීම නොව, සියලු පක්ෂවල නායකයන් එක සහෝදර පිරිසක් ලෙස ජනාධිපති අගමැති ද විරුද්ධ පක්ෂ නායකයා ද එකට එකතු වී මෙම සිද්ධියට අදාළ පසුතලය විමර්ශනය කිරීම සඳහා සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීමට එක්සත්ව ක‍්‍රියාකිරීමයි.

එහෙත් විරුද්ධ පක්ෂයෙන් එවැනි ශක්තිමත් බලපෑමක් සිදු නොවූ බව ද අපට පැහැදිලියි. පක්ෂ, පාට වශයෙන් බෙදී සත්‍යය යටපත් කරන්නට උත්සාහ කරනවා විනා මෙතෙක් පත් කළ කොමිෂන් සභා හෝ කමිටු ඉදිරිපත් කළා යැයි කියන කිසිඳු වාර්තාවක් ජනතාව අතට පත් වී නැහැ.

එබැවින් අප‍්‍රියෙල් 21 වනදා සිදු වූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පුද්ගලයින්ගෙන් සැදුම්ලත් කොමිසමක් පිහිටුවා නිසි පරික්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, ඔවුන්ට රිසි දඬුවම් දීමක්වත් මේ වනතුරු සිදු වී නැහැ.

ස්වාධීන කොමිෂන් සභා යැයි හැඳින්වූ කොමිෂන් සභාවල කිසිදු ස්වාධීන බවක් හෝ අපක්ෂපාතී බවක් හෝ විනිවිද පෙනෙන බවක් හෝ තිබුණේ නැහැ. මේ විනිවිද පේන්නේ නැතිභාවය හැමදාම තිබුණා. අපේ ලංකාවේ විවිධ අවස්ථාවලදී පවත්වන ලද කොමිෂන් සභා වාර්තා හුඟක් තියෙන්නේ කාපට් එක යටයි. ඒවා මිනිස්සු දන්නෙත් නැහැ. ඒවා අපක්ෂපාති කියලා කියන්නත් බැහැ.

එබැවින් එවැනි ආකාරයට නොව නිවැරදි හා කාටත් පිළිගත හැකි ආකාරයට අපක්ෂපාතී පුද්ගලයන්ගෙන් යුත්, විනිවිද භාවයෙන් යුත් කොමිෂන් සභාවක් පත්කර මෙම ප‍්‍රහාර පිළිබඳ සම්පූර්ණ සත්‍යය ජනතාවට හෙළි කරන ලෙස මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

මේ කොමිෂන් සභා පිහිටුවීමේදි ජනාධිපති,අගමැති,විපක්ෂනායක සහ පක්ෂවල නායකයින් එකතුව කටයුතු කළ යුතුයි. ඒ අයගේ පොදු තීරණයෙන් මේ කොමිසන් සභා පත් කළ යුතුයි. ඒ නිසා කාටවත් වාසි වෙන විදියට තමන්ගේ පැත්ත පමණක් ඉස්මතු වෙන විදියට වාර්තා සකස් වෙන එක නවත්වලා සත්‍ය හෙළිදරව් කළ යුතුයි.

ඡන්දයක් පැවැත්වීමක් ගැන කතාකරන්නට පෙර මෙම මහා විනාශය පිළිබඳව සැබෑ විමර්ශනයක් සඳහා සියළු බලතල සහිතව අදාල ස්වාධීන කොමිෂන් සභාව පත් කිරීම අත්‍යාවශ්‍ය මෙන් ම කඩිනමින් සිදුවිය යුතු කාරණයක් වේ. අපිට මේ වෙලාවේ ඕන මැතිවරණ නෙමෙයි අපිට ඕන සත්‍යයි. මැතිවරණත් අවශ්‍යයි නමුත් මේ කාරනයට ප‍්‍රමුඛත්වයක් හිමි විය යුතුයි.

අප රටේ අණ්ඩු පක්ෂයෙන්, විපක්ෂයෙන් හා අනෙකුත් පක්ෂ වලින් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අප ආදරණීය ජනතාව ද අප රටේ ජාතීන් අතර පැවති ශුද්ධ වූ සමගිය ද සංචාරක ව්‍යාපාරය හා පොදුවේ රටේ සමස්ත ආර්ථීකය ද බිඳ දමමින් දරුණු පීඩාවකට අප දේශය ඇද දැමූ මෙම සිද්ධිය, අප රට කලින් පාලනය කළ රජයන් ද කළාක් මෙන් රතුපලස යට සඟවා දමන්නට කටයුතු නොකරන ලෙයසි.

පීඩිත සියලු දෙනාට යුක්තිය, සාධාරණය ඉෂ්ඨ කරමින් අප රටේ ජනතාව මාස තුනක් තිස්සේ සිදුවේ යැයි බලාපොරොත්තුවෙන් සිටින මෙම බෝම්බ ප‍්‍රහාර සිද්ධිය පිටුපස ඇති ජනතාවට හෙළි නොකරන සත්‍යය කුමක් ද කියාත් මෙම සත්‍යය හෙළි කිරීමට එරෙහිව බලපෑම් කරන අදිසි බලවේග කවරේද කියාත් ජනතාවට හෙළි කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.

රතු පස්වල සිද්දිය, රොෂේන් චානක ඝාතනය සම්බනධ සිද්ධිවල වාර්තාත් අපි තවම දැක්කේ නැහැ. ඒ දේම මේ වාර්තාවලටත් වෙයිද කියන ප‍්‍රශ්නය අපිට තියෙනවා.

මෙම ඉල්ලීම ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයේ දී ආණ්ඩු පක්ෂයෙන් හෝ විරුද්ධපක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වන හෝ එම පක්ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති අපේක්ෂකයන් මා මුණ නොගැසෙන බව දන්වා සිටිනවා.

පළමුව කළ යුතු දේ සිදු කල යුතුයි. ඒ අනුව පළමුව ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරලා ඒ අයට සුදුසු බලතල දීලා පහසුකම් සපයලා ඒ වාර්තාව පිළියෙළ කළ යුතුයි. අපේ ජනතාවගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දිය යුතුයි. ජනතාව තාවකාලික ලාභ ප‍්‍රයෝජන ගැන නොසිතා යුක්තිය වෙනුවෙන් රටේ සැබෑ උන්නතිය වෙනුවෙන් ද තීරණ ගනු ඇතැයි විශ්වාස කරනවා.

මම කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත් අසරණ අහිංසක ජනතාවට සිදුවිය යුතු යුක්ති සාධාරණය උදෙසාත් ජනතා පරමාධිපත්‍යය උදෙසාත් පෙනී සිටීමට කැපවන බව විශේෂයෙන් කිව යුතුයි. ඇතැම් උදවිය හා සමහර මාධ්‍ය ආයතන සමහර පක්ෂ සමඟ මාව සම්බන්ධ කරලා මට ලේබල් අලවන්නට උත්සාහ කරනවා.

කරුනාකරලා මාව පක්ෂවලට එකතු කරන්න උත්සාහ කරන්න එපා මට පක්ෂයක් නැහැ. අපි ජනතාවගේ පැත්තේ ඉන්නේ. කරුණාකරලා මට පක්ෂ පාට එලවන්න එපා කියලා මාධ්‍යයෙනුත් ඉල්ලා සිටිනවා.

ලාභ ප‍්‍රයෝජන බලන්නේ නැතුව අවංකව මේ ගැන කටයුතු කරලා අපට සත්‍ය දැනගැනීමේ අවශ්‍ය ඒ කටයුත්ත කඩිනම් කරන්න කියලා නායකත්වයෙන් ඉතා ඕනෑකමින් නැවත නැවතත් ඉල්ලා සිටිනවා’’ යැයිද අගරදගුරුතුමෝ එහිදී පැවසීය.

- නිමල කොඩිතුවක්කු Credit to :Lankadeepa

No comments:

Post a Comment