Sunday 27 June 2021

මට රිද­වන්න කිසි­ව­කුට බැරි තර­මට රිද­වීම් මා විඳ තිබෙ­නවා - ප්‍රවීණ රංගන ශිල්පිනි වසන්ති චතු­රාණි


අමුතු කතා අනවශ්‍ය මිනිස්සු පිරිසක් ඕනෑම රටක ඉන්නවා. ගෙදර එදිනෙදා හමුවෙමින් එකට ජීවත්වන සමීප ඥාතීන් මෙන් ඔවුන් ඒ රටේ මිනිස්සුන්ට එතරම් සමීපයි. වසන්ති චතුරාණි සම්බන්ධවත් අමුතු විශේෂ කතා අවශ්‍ය වන්නෙ නැත්තේ ඇය එතරම්ම මේ රටේ කලාව ප්‍රිය කරන හැම සහෘදයෙක්ගෙ බන්ධුවරියක් වීම නිසා.


තමන්ගෙ මුල්ම සිනමා කෘතිය වූ ‘ගැහැණු ළමයි‘ රංගනය වෙනුවෙන් ඕ. සී. අයි .සී හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබන ඇය ඉන් අනතුරුව අනේක වාරයක් සම්මානිත වෙනවා. එතැන් සිට සිනමාවේ කතාබහට ලක්වන විශිෂ්ඨ චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත නිරූපණයෙන් අසීමිත රසික ප්‍රසාදයට ලක් වූ සිංහල සිනමාවේ ජීවමාන පුරාවෘත්තයක් බඳු ඇය අදත් කලා ක්ෂේත්‍රයේ සක්‍රීයව ඉන්නවා.

රසඳුන වෙනුවෙන් ‘කලෙකට පසුව‘ ඇය අපට හමුවුණා. අරමුණ මේ ප්‍රභූ කලාකාරිනියගේ මතක අතර සැඟවී ඇති අරුමය සොය යෑමයි... මේ පිළිසඳර අරඹමින් ඇය හඬ අවදි කළා.



"1975 මම සිනමාවට සම්බන්ධ වන්නේ කරුණාසේන ජයලත් ගේ ‘ගැහැනු ළමයි‘ නවකතාව ඇසුරෙන් සුමිත්‍රා පීරිස් මුලින්ම අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි‘ චිත්‍රපටයෙන්. එහි කුසුම් ගේ චරිතය නිරූපණය කරන්න ඇය පාසල්වලට ගිහින් ළමයි හොයලා තියෙනවා. නමුත් කොළඹ පාසල්වල මේ චරිතයට ගැළපෙන ගැහැනු ළමයෙක් එතුමියට මුණගැසී නැහැ.

මගේ පාසල වුණේ ගම්පහ සිරිකුරුස කන්‍යාරාමය. දිනක් සුමිත්‍රා පිරිස් වෙනත් කටයුත්තකට ගම්පහ පැමිණි විට අපේ පාසලට ආවා. එතුමිය ඇවිත් තිබුණෙ විවේක කාලය ඇරඹුණු වෙලාවක. ඇය පැමිණි වගක් මා දැනගෙන හිටියෙ නෑ. විදුහල්පති කාමරය වටේ ළමයි එකතු වෙලා හිටියා. මාත් නිකම් ගිහින් එබිලා බැලුවා. සුමිත්‍රා පීරිස් මැඩම් මට මුලින්ම මුණ ගැහුණේ එදා. ඇය මාව දැකලා කතා කළා. මගෙන් ඇහුවා රඟපාන්න කැමතිද කියලා. ඒ වෙලාවේ මම ඇයට කිව්වා ගෙදරින් අවසර ගත්තොත් මම කැමතියි කියලා.

‘ගැහැනු ළමයි‘ චිත්‍රපටය මම රඟපාන්නේ මගේ පාසලේත් අවසර ඇතිව සාමාන්‍ය පෙළ පන්තියේ දී . රූගත කිරීම් කළේ පාසලේ නිවාඩු දවස්වල. ඒ හරිම ලස්සන දවස්. "

රඟපෑමෙහි හැදෑරීමක් නොකළ පාසල් ශිෂ්‍යාවක් විදිහට සිනමාවට ප්‍රවිෂ්ට වන වසන්ති චතුරානි රංගනාභ්‍යාස ලබන්නෙ බොහෝ ඇසූ පිරූ තැන් ඇති නිර්මාණකරුවන් සමඟ. ඇගේ කලා ජීවිතය ඔප මට්ටම් කළ තක්සලාව ඇය සම්බන්ධ වුණු නිර්මාණ අතර ගොඩනැඟුණා.

මා රංගනයට එක්වන වකවානුවේ හිටියේ ඉතාමත් දක්ෂ ප්‍රතිභාසම්පන්න පරම්පරාවක්. ඔවුන්ගේ ගුරුහරුකම් යටතේ අපි පෝෂණය වුණා. ටෝනි රණසිංහ වැනි දැවැන්ත හැදෑරීමක් තිබෙන චරිත ආරම්භයේ සිට මට මුණගැහුණා. ජෝ අබේවික්‍රම ඇසුරු කරන්න ලැබීම භාග්‍යයක්. ගාමිණී ෆොන්සේකා වැනි සිනමාවේ දැවැන්ත පෞරුෂ ඉතාමත් නිහතමානීව අලුත් පරම්පරාවට ඉඩදුන්නා. නවකයෙක් කියලා කිසිවිටෙක අපිට වෙනසක් කළේ නැහැ. ඔහුන් අතර ගෞරවයකින් යුතුව එක්ව වැඩ කරන්න හැකියාවක් තිබුණා. තක්සලාව වුණෙත් ඒ රංගන අත්දැකීම්මයි."

ජීවිතය සුන්දරම කාලයක සිනමාවේ ගතකරන අතරතුර ජීවිතයට අමතක නොවන අවස්ථාවක් මතක් කරන්න අපි ඇයට ආරාධනා කළා.

"අත්දැකීම් රාශියක් ලැබුවා. එක් සිදුවීමක් මේ වෙලාවේ මට මතක් වෙනවා. අපි ‘ආදර හසුන‘ චිත්‍රපටයේ ගීතයක් රූගත කරන්න ඔරුවකින් මුහුදට ගියා. ඒ ගීතය තමයි රන් දෙවොලින් බැස එන දෙවියෝ කියන ගීතය. මේ දර්ශන තලය ගාල්ල උනවටුන. වාරකන් කාලයක මේක රූගත කිරීම කළේ. රවින්ද්‍ර රන්දෙණිය සහ මම එක් ඔරුවක ගමන් කළා. රූගත කරන්න තවත් බෝට්ටුවක් අපිට සමාන්තරව ගමන් කළා. කැමරා අධ්‍යක්ෂකවරයා වුණේ සුමින්ද සිරිසේන. ඔරුවෙ ගොල්ලෑව උඩට නැග්ගම ඔරුව පෙරලුණා. අපි එතකොට මුහුදට වැටුණා. ඔරුව හබල් ගාන දෙන්නෙකුත් අපිත් එක්ක හිටියා. ඒ දෙන්නා අමාරුවෙන් ඔරුව කෙලින් කරලා අපිව ඔරුවට ගොඩ කර ගත්තා. එවෙලෙ බයටම මට වමනේ යන්න පටන් ගත්තා. අපි සීතලෙන් ගැහි ගැහී ගොඩට ආවා. ඒක නම් කවදාවත් අමතක වන්නේ නැහැ."

සිනමා ජීවිතය තුළ රංගන ශිල්පිනියක් විදිහට බොහෝ රංගන ශිල්පීන් සමඟ රඟපාන්න ඇයට අවස්ථා ලැබෙනවා. ඒ අතුරෙන් වඩාත් කැමතිම රංගන ශිල්පියා ගැනත් ඇය සිහිපත් කළා. "මං හිතනවා මං හරිම ආසයි ජෝ අයියත් එක්ක රඟපාන්න. ඔහු සමඟ වැඩ කිරීම රංගන පාසලක ජීවත් වෙනවා වගේ.

සිනමාවේ අහිංසකාව විදිහට ඇයට අන්වර්ථ නාමයක් ලැබෙනවා. ඇත්තටම ඔබ සිනමාවේ අහිංසකාව වුණේ කොහොමද අපි ඇගෙන් විමසුවා.

"මට ලැබුණු චරිත හරහායි මගේ මුහුණ ප්‍රේක්ෂකයන්ගේ හදවතට කතා කරන්නේ. ඒ නිසා මං අහිංසකයි කියලා ඔවුන් විශ්වාස කරන්න ඇති. නමුත් මම ඇත්ත ජීවිතේ අහිංසක චරිතයක් නෙවෙයි. තරහා යන වෙලාවට මගේ අහිංසක කම් නැහැ ."

මේ රටේ සහෘද රසිකයන් ප්‍රිය කරන ඒ සුන්දර සිනාව ඇයගෙ මුව පුරා ඇඳී ගියා.

සිනමා රංගන ශිල්පිනියන් රූපවාහිනී නිර්මාණවලට සහභාගී නොවන යුගයක රූපවාහිනී ටෙලි නිර්මාණ අතර අමතක නොවන චරිතයක් බවට පත්වන්න ඇයට හැකිවෙනවා. ‘මායා මන්දිර‘, ‘කඩුල්ල‘ වැනි නිර්මාණවල දී ඇය දක්වන ප්‍රතිභාව මවිත කරවන සුලුයි.

"මම මුලින්ම ටෙලි නිර්මාණයකට සම්බන්ධ වන්නේය ධර්මසේන පතිරාජ ගේ ‘මායා මන්දිරය‘ ටෙලි නිර්මාණයෙන්. ඉන් අනතුරුව ධර්මසේන පතිරාජයන්ගේ ‘කඩුල්ල‘ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගිරය‘ සෝමරත්න දිසානායකගේ ‘ඉටි පහන්‘1 සහ 2‘ගජමන් නෝනා‘, ‘කුලවමිය‘ වගේ ටෙලිනාට්‍ය ගණනාවකම මට රංගන අවස්ථා ලැබුණා.

පසුව මා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පෙලඹුණා. සුමිත්‍රා රාහුබද්ධ ගේ ‘අග පිපි මල්‘ නවකතාව ඒ නමින්ම ටෙලි නාට්‍යයක් ලෙස නිෂ්පාදනය කළා . ඊවා රණවීර ගේ නවකතාවකින් සුමිත්‍රා රාහුබද්ධ ලියූ තිර පිටපතක් ටෙලි නාට්‍යයක් ලෙස නිර්මාණය කළා. සුනේත්‍රා රාජකරුණානායක ගෙ නවකතාවක් ඇසුරෙන් ‘සද්ගුණාකාරය‘ ඇගේම ‘කවිකඳුර‘ නවකතාව ආශ්‍රයෙන් ‘ධවල කඩුල්ල‘ ටෙලි නාට්‍යය මා විසින් නිෂ්පාදනය කළා."

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් විදිහට ඇගේ නිර්මාණ සියල්ලක්ම ඉතාමත් සාර්ථක නිර්මාණ සම්මානනීය ටෙලි නාට්‍ය කෘති බවට පත්වුණා.

නමුත් සිනමාව සහ රූපවාහිනියේ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රවේශ නොවුණේ ඇයි කියන ප්‍රශ්නයත් අප ඇහුවා. ඇය කියන්නෙ එය ඇයට වෙහෙසකර අත්දැකීමක් වූ බවයි. විජය නන්දසිරිගේ ‘කුස පබාවතී‘ වේදිකා නාට්‍යයේ පමණක් ඇය වේදිකාවේ දී රඟපා තිබුණා. සිනමාවේ සහ ටෙලිනාට්‍යයෙ දී කැමරාවක් ඉදිරියේ කරන රූපණයට වඩා වේදිකා නාට්‍යයක ඇති සජීවී රංගන ශිල්ප ක්‍රම ඇයට ආයාසකර අත්දැකීමක් එක් කළ බව ඇය හෙළි කළා.

වසන්ති චතුරාණි කියන්නෙ අපේ සම්භාවිත මහා කලාවෙ එක් යුගයක අමරණීය ලකුණක්. බොහෝ ඇසූපිරූ තැන් ඇති මේ ප්‍රභූ කලාකාරිනියගෙන් අද අපේ නිර්මාණ ක්ෂේත්‍රය ගැන විමසන්න හිතුණා. ඇය කියන්නෙ ප්‍රවීණ නිර්මාණකරුවන් ඇසුරෙහි තමන් ලැබූ අත්දැකීම වත්මන් තරුණ පරපුරට නොලැබෙන බවයි.

“ අත්දැකීම් බහුල විචක්ෂණ නිර්මාණකරුවෝ ක්ෂේත්‍රයේ අඩුයි. බොහෝ දෙනකුට නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ වගකීමක් පුළුල් අවබෝධයක් ඇත්තෙම නැහැ. එය විශාල දුකක්.“ ඇය කියන්නෙ බිඳුණු ස්වරයෙන්.

අප මුලින් කී ලෙසම වසන්ති චතුරාණිය මේ රටේ බහුතර සහෘද රසිකයන්ගෙ බන්ධුවරියක්. ඇගෙන් ඇගේ ජීවිතයේ සමීපතම තොරතුරු විමසන්න හිතුවේ ඒ නිසා. තරුණ වියේදීම විවාපත්වෙලා කෙටි කලකින් විවාහයෙන් ඉවත්වන වසන්තිගෙන් අප මෙසේ විමසුවා.

“ජීවිතයෙ ආපසු හැරී බැලුවොත් මොනවද හිතෙන්නෙ?.“

"මම විවාහ වෙන්නේ ප්‍රේම සම්බන්ධයකින් නෙවෙයි. මාව හොයාගෙන ආපු යෝජනාවකින්. විවාහයෙන් මට පුතෙක් ලැබෙනවා. අපි අතර තිබූ නොගැළපීම් නිසා මම වෙන් වෙන්නට තීරණය කරන්නවා. ඊට පස්සේ නැවතත් විවාහයකට යොමුවෙන්න තීරණයක් ගත්තේ නැහැ. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයි කියනවා. මගේ දරුවාට වෙනසක් කරන්න මං කොහොමත් කැමති වුණේ නැහැ. ඔහුගේ ලෝකය ගැන මම හිතුවා. අපි දැනටත් ජීවත් වෙන්නේ මගේ මහත්තයා දුන්න නිවෙසක. සමහර දේවල් මට ඔහුගෙන් ලැබුණා. මං හිතනවා ඒ දේවල් මට ඇති කියලා.“

“පුතා ගොඩක් පොත්පත් කියවන කෙනෙක්. ඔහු හොඳ නිර්මාණ බලනවා. හොඳ රසිකත්වයක් තියෙනවා. නමුත් නිර්මාණ ක්ෂේත්‍රයට එන්න පුතාගෙ කැමැත්තක් නෑ. ඔහු තාත්තා වගේ කලාවට වැඩි නැඹුරුවක් නැහැ. ඒ නිසා බලෙන් මේ පැත්තට යොමු කළේ නැහැ.“

එතෙකින් ඇගේ සමීපතම ජීවන තොරතුරුවලින් මිදී අප ඇගේ අලුත්ම නිර්මාණ ජීවිතය ගැන කතා බහට යොමු වුණා.

"අරුණ ප්‍රේමරත්න රචනා කරපු ‘අම්මාවරුනේ‘ ටෙලි නාට්‍යයේ මට මෑතකදී රඟපාන්න ලැබුණා. ඒ කතාවට මම ගොඩක් ආසයි. එය මිනිස්සු කතාබහ කරපු ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ඔහුම රචනා කරන ‘සකුණ පියාපත්‘ ලියවෙන්නේ මගේ ආරාධනයකින්. අධ්‍යක්ෂණය කළේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු. රූපගත කිරීම් කළේ ගල්ගමුව ප්‍රදේශයේ. ළඟදීම මේ නිර්මාණය ස්වාධීන රූපවාහිනියෙන් දැක ගන්න හැකියාව ලැබේවී.

කාලය ගෙවී ගිහින්. තව මොහොතකින් මේ පිළිසඳර හමාර කළ යුතුයි.

“ජීවිතයෙ හොඳටම රිදුණේ කවද්ද?.“ මට ඇගෙන් අසන්න හිතුණා. ඇය ඊට පිළිතුර දුන්නෙ මඳක් නිහඬව ඉඳලා.

“ මට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. මගේ ජීවිතේ ගොඩනැඟෙන්නේ ඒ ආත්ම විශ්වාසය මත. මම හිතනවා මට රිදවන්න කිසිවකුට බැහැ කියලා. ඒ තරමට රිදවීම් ලබලා තියනවා.“ නොකියැවුණු බොහෝ දේ ඒ හඩේ තිබුණා. අවසාන වශයෙන් අප ඇගෙන් විමසුවේ හෙට ඇගේ ජීවිත බලාපොරොත්තුව ගැන. “ හොඳ චරිතාංග රංගනයකින් ජාත්‍යන්තර ඇගයීමක් ලබන්න ආසාවක් තියෙනවා. හොඳ චිත්‍රපටයක හොඳ චරිතයක් ලැබුණොත් රංගනය සඳහා නොඉවසිලිමත් බලාපොරොත්තුවකින් ඉන්නවා.“

ඒ අවස්ථාව එළඹෙන දිනයක නිසැකවම ඇය අපව ජාත්‍යාන්තරය වෙත රැගෙන යාවි. මා එසේ කල්පනා කළා.


No comments:

Post a Comment