Friday 17 May 2019

බුද්ධත්වයට මඟ හෙළි කළ දාර්ශනික සමාජය



- ආර්. සී. වතුහේන විසිනි

සක්‌විති රජකම නියත ලෙසම ලැබේ යෑයි නැකත් ශ්‍රාස්‌ත්‍රයේ පරප්‍රාප්ත බමුණන් විසින් අනාවැකි පළකර තිබූ සිදුහත් යුවරජු රජකුමරකු විසින් දතයුතු සියලු ශිල්ප ශාස්‌ත්‍ර මනාව ප්‍රගුණ කර සිටි බවට විවාදයක්‌ නැත. එසේම මිනිසකුට මිනිස්‌ දිවියේදී ලැබිය හැකි ඉහළම භෞතික සැප සම්පත් ද සිදුහත් කුමරු වෙනුවෙන් වෙන්කර තිබූ බවටද ඕනෑ තරම් සාක්‍ෂි ඇත. ඔහුගේ විවාහය සිදුවූයේද එවක ඉන්දියාවේ සිටි රූමත්ම ක්‍ෂත්‍රීය වංශික කුළ කුමරිය සමගිනි. යශෝධරා නම් වූ ඇය සිදුහතුන්ගේ මවගේ සොහොයුරාගේ දියණිය බැවින් ඇවැස්‌ස නෑකමක්‌ තිබුණ ද ඇගේ විවාහ ගිවිස ගැනීමේ ස්‌වයංවරයේදී පැවති ශිල්ප දැක්‌වීමේ තරගයෙන් කියාපාන ප්‍රකටම ප්‍රධානම කරුණු වන්නේ. යශෝධරා අධික රූපශ්‍රීයෙන් යුක්‌ත වීම නිසා දස දෙසින් ඇය පතා ක්‍ෂත්‍රිය රාජකුමාරවරු පැමිණි බව සේම සියලු ශිල්ප දැක්‌වීම්වලදී දක්‍ෂතමයා වීමෙන් සිදුහතුන් ශිල්ප ශාස්‌ත්‍රයන්හි කෙළ පැමිණියකු බවය.

මිනිසකුට ලැබිය හැකි ඉහළම සැප සම්පත් හා රජසිරි විඳි සිදුහත් කුමරු විවාහයෙන් දහතුන් වන වසරේදී හෙවත් තම ජීවිතයේ විසිනව වැනි වයස්‌හිදී සියලු ලෞකික සැප සම්පත් හා ආශාවන් අතහැර ලෝකෝත්තර සුවය පතා තවුස්‌ වෙස්‌ගෙන වනගතව තවුස්‌ දහම්හි හැසිරෙන්න තීරණය කරන්නේය. ජීවිතයේ ඇති අතිර බව වෙනස්‌ වන සුළු බව දුක්‌ සහිත බව නිසා ඇතිවූ කලකිරීම මෙයට යම් තරමක හේතුවක්‌ වන්න ඇති. නමුදු සිදුහතුන්ගේ අබිනික්‌මන සිදුවූයේ ඊට වඩා පෘථුල පරහිතකාමි හා විමුක්‌තියේ පිහිට පැතීම යන කරුණු මත බවත් එතනට සිදුහතුන් යොමු කරන්නේත් තල්ලු කරන්නේත් තත්කාලීන සමාජය බව එකල පැවති සමාජ තත්ත්වයන් ගැන විමසුම් ඇසින් බලන කළ පෙනී යයි.


අප කුඩා කල කියවූ දහම් පොත් පත්වල සඳහන්ව තිබුණේ සිදුහත් කුමරු සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරීම් අබිනික්‌මනෙහි යෙදුණු බවත් ඒ සතර පෙරනිමිති දෙවියන් විසින් මවා පෑ ඒවා බවත්ය. සිදුහතුන් ළදරු කල කුමරුගේ උපන් වේලාව බැලු නැකත් ඇදුරන් 108 දෙනාගෙන් 107 දෙනකුම කුමරු ගිහිව සිටියොත් සක්‌විති රජ වන බවත් පැවිදි වුවහොත් බුදු වන බවත් පැවසූ හෙයින් රාජ්‍ය පාලකයකු ලෙසත් පියකු ලෙසත් සිතූ සුදොවුන් රජ කුමරුගේ සිත කලකිරවන කිසිදු ලකුණක්‌ නුවර තුළ පැවතීම ඉවත් කළ බවත් යසෝදරා අගමෙහෙසිය කොට තවත් මෙහෙසියන් පාවා දුන් බවත් රාග නිශ්‍රිත නැටුම් ගැයුම් වැයුම්වලින් නිතිපතා කුමරු සන්තර්පණය කළ බවත් සෘතු තුනට සැසදෙන පරිදි රම්‍ය, සුරම්‍ය, සුභ යනුවෙන් මාලිගා තුනක්‌ කුමරු වෙනුවෙන්ම වෙන්කළ බවත් අපි එකල කියවීමු. රජුගේ සැපසම්පත් ලබාදීම හා තහංචි නිසාම දෙවියන් සතර පෙර නිමිති දැක්‌වූ බවද වැඩි දුරටත් අපි ඉගනීමු.

මේ වනාහි අධික බුද්ධ භක්‌තිය නිසා හා බුදු බණ අසා ඇති හෙයින් උත්තරයෙන් ප්‍රශ්නයට යාමක්‌ වැනිය. බුදුරදුන් සාරාසංක්‍ය කල්පලක්‍ෂයක්‌ පෙරුම් පුරා දස පාරමී දම් සපුරා බුදු බව පැතු බවත් ඒ සිදුහත් ලෙස උපන්නේ අන්තිම අත් බවය බවත් බුදු සිරිතට අඩංගු සියලු කරුණු අප ඇසුවේ සිදුහතුන් තිලෝගුරු සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු දේශනා කරන ලද දහම් ඇසුරෙනි. නමුදු සිදුහත් කුමරු අබිනික්‌මන කළේ බුදුවරයකු ලබන සියලු ඥණ සම්භාරයන් හෝ බුද්ධ ශක්‌තීන් දැනගෙන හෝ අසා කියවා නොව විමුක්‌තිය සෙවීමේ එකම අරමුණ පෙරදැරි කරගෙනය. ඒ වන විට බුදු උතුමෙකු ලොව පහළ වී නොතිබුණ නිසා බුද්ධ ශක්‌තීන් ගැන හෝ කල්ප කාලාන්තරයකට පෙර වෙනත් බුදුවරු ලොව පහළ වී ඇති බව කිසිවෙක්‌ දැන නොසිටියහ.

සතර පෙර නිමිති දෙවියන් මවාලූ බව අතිශයෝක්‌ති කියමනක්‌ වන්නේ. මතු බුදුවන උතුම් අයකු සසර පුරුදු ශාක්‍යතා රැස්‌ කළ අයකු හෝ නොව අද දවසේ පවා සාමාන්‍ය දරුවකුට වුවද තම මතකය තමා හට වසර 3 ක්‌ හෝ 4 ක්‌ සපිරේදී පටන්ම පවත්වා ගත හැක. බොහෝ විට සිදුහත් කුමරුන් කෙරෙහි මේ ස්‌මරණ ශාක්‍යතාව අධි තිව්‍ර ලෙස පවතින්නම ඇත. මන්ද මතක ශක්‌තිය නොමැති අයකුට සිව් සතර කෙළ පැමිණිය නොහැකි බැවිනි. සිදුහතුන් සිප් සතර ඉගෙනුමට ගියේ සර්වමිත්‍ර බමුණා වෙතය. එතැන් සිට ගත්තද තමා හා සිටි යහළුවන්, ඔවුන් බලන්නට ආ ඥති මිත්‍රාදීන් රජවාසල සේවකයන් නිලධාරීන් තමන්ගේ ඥතීන් වසර 25 කට වැඩි කලක්‌ තිස්‌සේ සිදුහතුන් හඳුනාගත නොහැකිව සිටියේද, දැක නොතිබුණේද, මේ වසර 25 තුළ රටවැසියන් නැතත් සමීප ඥතීන් හා හිතවතුන් කීදෙනකු රෝගී හා මහලු තත්ත්වයට පැමිණෙන්න ඇත්ද? කල් හා අකල් මරණ කොපමණ සිදුවන්න ඇතිද? වෙන කිසිවක්‌ නැතත් කුඩා කල දුටු තම පියා හා සුළු මව සිදුහතුනට වයස 29 පිරෙද්දී කොපමණ මහලු වී ඉන්න ඇතිද?. එහෙයින් කොහේවත් නැති දෙවියකු මීට ඈ¹ ගැනීම යථාර්ථයට හා සත්‍යයට පිටුපෑමකි.

කරුණු මෙසේ නම් අප විමසා බැලිය යුත්තේ සිදුහත් කුමරු අබිනික්‌මනට යොමු කළ සත්‍ය කරුණු කාරණා දෙසය. වේද ග්‍රන්ථවලට අනුව හින්දුන්ගේ මතය වන්නේ ලොව සියල්ල දේව ත්‍රිත්වයකට අයත් බවය. මහා බ්‍රහ්මයා ලොව මවන අතර විෂ්ණු ලොව රැකීමද ඊෂ්වර ලොව නැසීමද කරන බව ඔවුන්ගේ විශ්වාසය වේ. එසේ ලොව රකිනා විෂ්ණු අවස්‌ථා 10 කදී අවතාර 10 ක්‌ ලෙසට ලොවට පැමිණෙන බවද ඔවුන්ගේ විශ්වාසය වේ. වරාහ පුරාණයෙහි දැක්‌වෙන පරිදි මත්ස්‍ය කුම් වරාහ ආදී ලෙසට දැක්‌වෙන විෂ්ණුගේ අවතාර දහයෙන් බුද්ධ අවතාරය නම වැන්න වේ. (විෂ්ණු බුද්ධ ශාසනය රකිනවායයි බුද්ධාගම්කාරයින් විශ්වාස කරන අතර හින්දුන්ගේ විශ්වාසය වන්නේ බුද්ධ යනු විෂ්ණුගේ අවතාරයක්‌ බවය.)

හින්දුන්ගේ විෂ්ණු දස අවතාර ගත් කල කල්කි නම් වූ දස වැනි අවතාරය අනාගතයේදී වන්නක්‌ බැවින් එය හැරුණ කල ලෝකය පිළිබඳ යථා තත්ත්වය බලද්දී ඉතිරි අවතාර නවයම සාධාරණය. ඒ අනුව බුද්ධ නම් වන්නේ කුමක්‌ද? බුද්ධ යනු තුන් ලොවම ජනිත වන ඕනම අයකුට ලැබිය හැකි ඉහළම අවබෝධයයි. සර්වඥ නොහොත් සියල්ල අතැඹුලක්‌ සේ දන්නා නුවණය. මෙලොව පමණක්‌ නොව මුළු චක්‍රවාටයෙහිම ඇති නැති සියල්ල කෙරෙහි පවත්නා යථා ස්‌වරූපයේ පරිසමාප්තයයි. ඒ අනුව තිලෝගුරු සම්බුදු පියාණන්ගේ උපත සිදුවුන කාලාන්තරය විෂ්ණුගේ බුද්ධ කාලයට ගැලපේ. ඒ බව අවතාර නවයම දෙස බැලීමෙන් පෙනේ. මෙයින් ස්‌ථිර සාරවම පැවසෙන්නේ සිදුහතුන් උපන් අවදිය මිනිසාගේ බුද්ධියේ හා සිතීමේ හැකියාවේ සියලු නිම් වළලු ප්‍රසාරණය වූ යුගය බවය.

බුද්ධ කාලය තව දුරටත් විමසුවහොත් මේ දැක්‌ම පිළිබඳ අවබෝධය ලබාගැනීම අපහසු නැත. බුදු උපත සිදුවන්නේ කිතු වසින් පෙර හයවැනි සියවසේදී පමණය. අතීතයේත් වර්තමානයේත් සිටි හා සිටින සියලු විද්වතුන්ගේ සම්මත පිළිගැනීමක්‌ වන්නේ මිනිසා බුද්ධිමහිමයෙන් අග්‍රස්‌ථානයට පත් යුගය වන්නේ ක්‍රි.පු. හයවන සියවස බවය. මෙය මනාව පැහැදිලි වන්නේ බෞද්ධ ඉතිහාසයට අනුව බුදුරදුන් ජීවමාන සමයේ ඉන්දියාවේ පමණක්‌ විවිධ දෘෂ්ඨින්ට අයත් ආගම් 62 ක්‌ තිබුණා යන්න සඳහන් වීමෙනි. මේ ආගම් හා දෘෂ්ඨීන් කොතෙක්‌ දුරට ජන සමාජයේ ස්‌ථාපිතව මුල්බැසගෙන තිබුණේද යත් ඒ ආගම්වල සිරිත් විරිත් හා ඇදහිලි සම්පූර්ණ ලෙසම නිර්මාණවාදය බැහැර කළ බුද්ධ දර්ශනය රැගත් බුද්ධ ධර්මයටද අරක්‌ ගැනීමෙන් පෙනේ. ඒ බව "ලංකාවේ බොදු වතාවත් උත්සව හා ඇදහිලි සියල්ලම පාහේ ආදි කාලීන බෞද්ධ ධර්ම බූතයන් මෙරටට ඇබ්බැහි කළ ඉන්දීය වත් පිළිවෙත්මය. මේ රටේදී ඒවා සුළු සුළු වශයෙන් පෙරළී අමුතු මුහුණුවරක්‌ ගත් බව පමණයි වෙනසක්‌ හැටියට පෙනෙන්නේ" යන වල්පොල රාහුල නායක හිමියන්ගේ ප්‍රකාශයකින්ම පෙනේ.

බුදු උපත ලද ක්‍රි.පු. හයවන සියවස යනු මිනිසාගේ නිදහස්‌ චින්තනයේ, ආගමික නිදහසේ හා විමුක්‌තිය සොයා යාමේ ව්‍යායාමයේ උපරිම තලයට පත් යුගය ලෙස සැලකේ. එකල පැවති දේශපාලන නිදහස මේ ස්‌වතන්ත්‍ර විග්‍රහයට ලබාදුන්නේ අසීමිත ආධාරෝපකාරයකි. ආසියාව යනුවෙන් ගත් කල ලොව සියලු විද්වතුන් දාර්ශනිකයන් හා විමුක්‌තිදායකයාණන් ලොවට පහළ වූ දේශයක්‌ ලෙස ප්‍රකටව ඇත්තේය. ඉන්දියාව ඉනුත් ප්‍රධානය.

ක්‍රි.පු. හයවැනි සියවස වන විට බොහෝ රාජාණ්‌ඩු කඩාවැටුණු අතර ඒ වෙනුවට සමුහාණ්‌ඩු ක්‍රමය බිහිවෙමින් තිබිණ. ඒකාධිපති රාජාණ්‌ඩුවල නොතිබූ නිදහසක්‌ ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්‌ඩු තුළින් මහජනයාට ලැබිණි. මේ තත්ත්වය ඊජිප්තු, ගී්‍රක, පර්සියානු හා මෙසපොතේමියානු ශිෂ්ටාචාරවල දක්‌නට ලැබුණ අතර ඉන්දියාවේදී මේ පැවැත්ම වඩාත්ම කැපී පෙනුණි. මේ වන විට ස්‌වාධීන හෝ අර්ධ ස්‌වාධීන සමුහාණ්‌ඩු ක්‍රමයක්‌ ඉන්දියාව පුරා රාජ්‍යයන් 16 ක්‌ අතරේ පැතිරී තිබිණි. සමහර සමුහාණ්‌ඩු කොතෙක්‌ ප්‍රජාතන්ත්‍රවාදී වීද යත් එතෙක්‌ මෙතෙක්‌ ලොව පහළවූ අග්‍රතම ප්‍රජාතන්ත්‍රවාදී යුග පුරුෂයාණන් වූ බුදුරජුන්ගේ පවා පැසසීමට මේ සමහර සමුහාණ්‌ඩු ලක්‌විය. ලිච්ඡවී රජ දරුවන්ගේ පාලන ක්‍රමය හා සමගිය ගැන වදාළ බුදුරජාණන් වහන්සේ එය අනෙක්‌ රාජ්‍යවල ගිහියන්ට පමණක්‌ නොව තම සංඝ සමාජයට ද මහඟු ආදේශකයක්‌ සපයන්නක්‌ බව වදාරා ඇත.

"මුළු ඉතිහාසයෙහිම ඉතා වැදගත් වූයේ ක්‍රි.පු. හයවන සියවසය හැම තැනම මිනිසුන්ගේ නිර්භීත මනසක්‌ දක්‌නට ලැබිණ. හැම තැනම ඔවුහු පැරණි සම්ප්‍රදා, රජ තනතුරු පූජක තනතුරු රුධිර පූජා ආදියට විරුද්ධව නැගී සිට ඉතා ගැඹුරු ප්‍රශ්න නඟන්නට වූහ ඒ වනාහි වර්ෂ 20,000 ක ළමා විය පසුකර මනුෂ්‍ය වර්ගයා වැඩිවියට පැමිණියාක්‌ වැනිය". මේ ප්‍රකාශය කරන්නේ ලොවෙහි ඉතාම ප්‍රකට ඉතිහාසඥයා වන එච්. ජී. වෙල්ස්‌ වියතාණන්ය. මානව ඉතිහාසයේ අහුමුළු පවා සොයා බලා මහා දැනුම් සම්භාරයකින් යුක්‌තව සිටි එවන් වියතකු ආවට ගියාට අදහස්‌ ප්‍රකාශ කරන්නේ නැත.

තව දුරටත් සොයා බැලීමේදී ගී්‍රසියෙහි විසූ පයිතගරස්‌a, දර්ශනය ජීවන මාර්ගයක්‌ ලෙස පිළිගනිමින් පුනරුත්පත්තිය ගැන දෙසුවේය. කොන්ෆියුසස්‌තුමා මනුෂ්‍ය සම්බන්ධතාවන් පිළිබඳ ආචාර ධර්මයන් ඉගැන්වූ අතර ලාඕට්‌සේ තුමා මනුෂ්‍යා විසින් සදාතන සාරධර්ම හා ප්‍රතිපත්ති අනුව ජීවත් වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. හෙරක්‌ලයිට්‌ස්‌ සියල්ල අනිත්‍ය යෑයි ද එකම ගංගාවකට කිසිවකුට දෙවරක්‌ පා නොතැබිය හැකි යෑයි ද දේශනා කරමින් සැරිසැරීය. මේ සියල්ල බලන කල නිදහස්‌ මතවාදයේ ආගමික පුනර්ජීවයේ ප්‍රදීපස්‌ථම්බ දැල්වූවා වැනි වීය. මේ කාලයේම ඉන්දියාවේද වෛදික බ්‍රාහ්මණ සම්ප්‍රදායන් සියල්ල පුපුරා ඉරිතලා යන්නට වීම සාමාන්‍ය සිද්ධියක්‌ වීය.

ලෝකයේ බොහෝ රටවල මෙලෙස නිදහස්‌ මතවාද ගතානුගතික ගූඪ ආගමික පදනම් පවුරු බිඳහෙළමින් පැවති අතර අපගේ විශේෂ අවධානයට යොමුවන (මතු බුදුවන) සිද්ධාර්ථ කුමරාගේ අවධිය කිසි සේත්ම මීට දෙවැනි නොවීය.

ඉන්දීය ජනසමාජයේ පැවැති ඒකාධිකාරී දුෂ්ඨ බ්‍රාහ්මණ මතවාදවලට එරෙහිව යම් යම් පුද පූජා හා විශ්වාසයන් පැතිර යන්නට වීය. ඒ වන තෙක්‌ පැවති ක්‍රමය වූයේ වේදය කියවීම, ලිවීම, යාග හෝම පැවැත්වීම පරවේණියෙන්ම බ්‍රාහ්මණයනට අයිති කාර්යක්‌ බවය. රජවරු ප්‍රමුඛ ඉහළ පැලන්තිය රාජ්‍ය පාලනය හා පුද පූජා පැවැත්වීමට අනුග්‍රහ දැක්‌වීම සිදු කළ යුතු අතර මධ්‍යම පාන්තිකයින් ගොවිතැන හා වෙළෙ¹ම කරගෙන යමින් පුද පූජා යාග හෝමවලට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු වීය. රටේ බහුතරය පහත්ම කුලයට ගැණුන අතර මේ අනුව බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර යනුවෙන් සමස්‌ත ජනතාව කුල හතරකට බෙදා දැක්‌විණි. වඩාත්ම කනගාටුදායක සිදුවීම වූයේ පහත් යයි සම්මත බහුතර ජනතාවට වේදය ඇසීමට පවා තහනම් වීමය. ඔවුන් වේද පාඨයක්‌ කීවොත් දිව කපා දමන බවටත් බ්‍රාහ්මණයන්ගේ ඇස නොගැටෙන පරිදි ශුද්‍රයන් ජීවත් විය යුතු බවටත් අණ දීමට තරමටම බ්‍රාහ්මණ සමාජය කුරිරු වුවාසේම බලාධිකාරයක්‌ද පවත්වාගෙන ගියේය.

මේ අහිතකර ස්‌ථරය පුපුරා නිදහස්‌ මතවාද ආගමික පුද පූජා ඇදහිලි පිදිවිලි පැතිරෙන්න පටන් ගනිත්ම තාපස ජීවිත ක්‍රමය ආරම්භවීය. එය ඉඳුරාම බ්‍රාහ්මණ සම්ප්‍රදායට විරුද්ධ වුවක්‌ වූ අතර ඔවුන් ශ්‍රමණ ස්‌වරූප දැරුවෝ වූහ. එහි කුල භේදය පිළිබඳ තැකීමක්‌ නොවීය. මේ තාපස කොටස්‌ ගණන පහක්‌ වීය. එනම් ආජීවක, ජටිල, පරිබ්‍රාජක, නිගණ්‌ඨ හා මුණ්‌ඩක යනුවෙනි.

ආජීවකයෝ නග්නව හැසිරුණ අතර එනිසාම ඔවුන් දිගම්බර නමින් හඳුන්වනු ලැබූ අතර ජටිලයෝ බ්‍රාහ්මණ තවුසන් වීය. වේදය පිළිගත් ඔවුහු තපස්‌ දිවියට එළඹිය හැක්‌කේ ගිහි ජීවිතයේ යුතුකම් ඉටුකළ පසු යෑයි කීහ. තව දුරටත් බ්‍රාහ්මණ තවුසන්ට පමණක්‌ සීමාවූ ජටිල නිකායවාදීන් වනගතව වසමින් නොයෙක්‌ වෘත සමාදන් වෙමින් යාග හෝම හා ගිනිදෙවියන් පිදීම කරගෙන එන ලදී. කාණ්‌ඩ වශයෙන් සමූහ ජීවිත ගත කළ ඔවුහු එක්‌ සමුහකට නායකයකු පත්කරගෙන ඔහු යටතේ විසූහ. කණ්‌ඩායම් වශයෙන් සිටියද පරිභ්‍රාජිකයෝ බොහෝ විට තනිව විසූහ. නිඝණ්‌ඨයෝ එක්‌ සාටකයක්‌ (සිවුරක්‌) පමණක්‌ දැරූ අතර මුණ්‌ඩකයෝ බෞද්ධ භික්‍ෂුන් මෙන් හිස සම්පූර්ණයෙන් බූ ගෑහ.

මේ හැම කොටසකටම අයත් තවුසන්ගේ ඒකායන අභිප්‍රාය වූයේ සසර දුකින් මිදීමයි. ඒ අතින් බලන විට දියුණු යෑයි කියන වර්තමානයේ සමහර ආගම්වල පවා නොමැති ඒ ඒ ආගමිකයන් වටහා නොගත් සසර දුක්‌ සහිත බව වටහා ගන්නට තරම් එකල තවුස්‌ දම් පිරූවන්ගේ ඥනය වැඩී තිබිණි. මේ හැම දෙනාම පාහේ පිළිගත් එක්‌ කරුණක්‌ වූයේ සසර දුකින් එතෙර වීමට නම් සංවර හා නිඡ්ජර විය යුතු බවයි. සංවර නමින් හැඳින් වූයේ ආත්ම දමනය වන අතර නිඡ්ජර නමින් හැඳින් වූයේ ශරීරයට දුක්‌ දී විමුක්‌තිය උදාකර ගැනීමට මගපාදා ගැනීමය.

සංවර හා නිඡ්ජර පිළිබඳ විවිධ අදහස්‌ ද නොතිබුණා නොවිය හැක. වචනාර්ථයෙන්ම සංවර යන්නට පස්‌ පවින් වැළකීම අවිහිංසාව සත්‍යගරුක වීම බ්‍රහ්මචාරි බව කයින් වදනින් හික්‌මීම වැනි කරුණු මූලිකවම අඩංගු වූ අතර නිඡ්ජර යනුවෙන් හැඳින්වූ අත්තලමතානුයෝගය හෙවත් ශරීරයට දැඩිව දුක්‌ඳීම සරල බවේ සිට උග්‍ර තපස්‌ දම් දක්‌වා දිවෙයි. සිදුහත් තවුසාණන්ගේ දුෂ්කර ක්‍රියා සයවස හෙළිකරණ බුදුරජාණන් වහන්සේ එහිදී සිදුහත් තවුසා රැකි උග්‍ර අත්තලමතානු යෝගී ක්‍රම මිනිස්‌ බව ලැබූවකුට කිරිමට සිතාගන්න බැරි තරම් දුෂ්කර බව වැටහේ. ජෛනවරුන් උග්‍ර තපස්‌ දම් රැකීමේ නියුතු වූ බවත් සමස්‌තයක්‌ වශයෙන් ගත් කළ විමුක්‌තිය සොයා ගිය සියල්ලන්ම මේ නිඡ්ජර ක්‍රමය අනුගමනය කළ බවත් සිදුහත් තවුසාණන්ගේ දුෂ්කර ක්‍රියා සයවසින් හා පස්‌වග මහණුන්ගේ කතා ප්‍රවෘත්තියෙන් ඔප්පුවේ.

තවුසකු ලෙස විමුක්‌තිය සොයා සිදුහත් කුමරා ගිය ගමනේදී සහම්පති නම් මහා බ්‍රහ්මයා පිරිකර පූජා කළ බවක්‌ බෞද්ධ සාහිත්‍යයේ දැක්‌විණි ද එය අතිශයෝක්‌ති සහගත ප්‍රකාශයක්‌ සේම සත්‍යයෙන් බැහැර වීමක්‌ ද වන්නේය. සිදුහත් කුමරුන් අබිනික්‌මනට යොමු වන විට සියලු ශිල්පවල කෙළ පැමිණියකු පමණක්‌ නොව මදයෙන් මත් වූ තරුණ බව ඉක්‌මවා යමින් සිටි එක්‌දරු පියකු බවත් ඊළඟට රජ බවට පත්වීමට සිටි කුමරා බවත් අමුතුවෙන් කිව යුතු නැත. ඉතාම කල්පනාකාරීව සිතා මතා පිඹුරුපත් සකස්‌ කර සසරම කළකිරී විමුක්‌තිය උදාකරගෙන මිස නැවත නොඑන බවට දැඩිසේ අධිෂ්ඨාන කරගෙන යන මෙවන් ගමනකදී තවුස්‌ දම් පිරීමට අවශ්‍ය සරල හා අවම රෙදිකඩක්‌ හෝ නොගෙන ගියා යෑයි කීම සිදුහත් කුමරුන් බාල බොලඳ චරිතයකට ඇද දැමීමකි. අනෙක්‌ අතට කිසිවක දමනය කිරීමට හෝ පහදවාලීමට හෝ දැනුවත් කිරීමකට බුද්ධ ශක්‌තියෙන් ඉතාම අල්පයක්‌ යෙදූ බොහෝ තැන්වල පවා කොහේවත් නැති බ්‍රහ්මයකු හෝ ශක්‍රයකු ඈඳීම සිදුකර ඇති බව පෙනේ.

අද දවසේ පවා කිසියම් පිරිමියකු හෝ ගැහැනියක්‌ තම ජීවිතයේ මුහුණ දෙන කිසියම් ෙ€දනීය සිදුවීමක්‌ දරාගත නොහැකිව මහණ වීමට හෝ දසසිල් වීමට යන්නේ පන්සලකට ආරාමයකට හෝ සෙනසුනකටය. එහිදී ඔවුනට අවශ්‍ය සිව්පසය ලැබෙනු ඇත.

එහෙත් සිදුහත් කුමරුන් අබිනික්‌මන් කර ගියේ පන්සලකට ආරාමයකට නොව වනාන්තරයටය. හැඳ සිටි රජ ඇඳුම් හා අබරණ ඡන්න අත ආපසු එවූ බවද සඳහන්ය. හැරත් එකල තාපස ජීවිතයට යොමු වන්නන් පරහරණය කළ භාණ්‌ඩ පිළිබඳ මනා දැනීමක්‌ සමාජය තුළ වීය. ඒවා නම් සිවුරු වර්ග 3 ක්‌ (ස්‌වේතාම්බර, කේශකම්බිලි, ගේරුහ්යක) වූ අතර මෙයින් තෝරාගත් එක්‌ සිවුරක්‌ තාපසයකු පරිහරණය කළ අතර ඉතිරි බඩු භාණ්‌ඩාදිය වූයේ සැරයටි, ලණුව, පෙරහන්කඩය, දිය කෙණ්‌ඩිය හා පාත්‍රය ය. තවුසන්ගේ වාසස්‌ථාන ලෙස භාවිතා වූයේ වෘක්‍ෂ මූල, පාළු ගෙවල් සොහොන් බිම්, ගල්ගුහා, ආදියයි. සමහර විට තවුසන්ගේ වත්පිළිවෙත් පූජාවිධි ක්‍රියාකලාප ගැන පැහැදුණු භක්‌තිමත් දායකයන් ආරාම උද්‍යාන වැනි විශේෂ වාසස්‌ථානද තනාදී ඇත. වැසි සමයේ වස්‌ විසීම මේ තාපස කණ්‌ඩායම් විසින්ද පවත්වාගෙන විත් ඇත. විමුක්‌තිය සොයා යන්නෝ ස්‌වභාව ධර්මයේ නියමයනට සුදුසු සේ හැඩගැසී තම පරමාර්ථය මුදුන්පත් කරගැනීමට හැමවිටම උත්සාහ ගත්හ.

තිලෝගුරු බුදු සමිඳුන් වැඩසිටි යුගයේ විවිධ දෘෂ්ඨි මතවාදී ආගම් 62 ක්‌ තිබූ බවද ඉන් ආගම් 6 ක්‌ පෙරමුණේ සිටි බවද ඉනුත් මහා වීර නමින් හැඳින්වූ නිඝණ්‌ඨනාථ පුත්ත තවුසා හා ඔහුගේ ආගම පෙරමුණේම තිබූ බව ද බෞද්ධ ඉතිහාසයේ පවා ඉතාම පැහැදිලිව සටහන් කර ඇත.

නිඝණ්‌ඨනාථ පුත්තගේ චර්යාව කැපවීම හා ආගම බෙහෙවින්ම සිදුහත් කුමරු කෙරෙහිද බලපාන්න ඇත. මහාවීරයන්ගේ ජෛනාගම් මොනතරම් නම් සමාජ බලපෑමක්‌ සමාජයගත වීමක්‌ කළේ ද යත් හින්දු ධර්මය හැරුණ විට බුදුරදුන් ජීවමානව වැඩසිටි සමයේ පැතිර තිබූ ආගම් අතරින් අද දවසේද නොනැසී ඉන්දියාවේ පවතින ආගමක්‌ වන්නේ නිඝණ්‌ඨනාථ පුත්ත මහාවීරයන්ගේ ජෛනාගමය. බොහෝ කරුණු ගෙන බලන කල බුදුරදුන් හා මහා වීරයන් එක හා සමාන චරිත වන බැවින් මේ සමානත්වයට මුලාවන සමහරුන්ගේ මතය වන්නේ බුදුරදුන් හා මහාවීරයන් යනු දෙදෙනකු නොව එක්‌ අයකුම බවය.

සම්බුදු රජාණන් වහන්සේ කාමසුඛල්ලිකානු යෝගය හා අත්තකිලමතානුයෝගය යන අන්ත දෙකම බැහැර කර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර ලොව්තුරා බුද්ධත්වය පසක්‌ කරගෙන ඒ මග ලෝක සත්වයාට පහදා දුන් අතර මහා වීරයෝ කාමසුඛල්ලිකානු යෝගය දැඩිසේ පිටුදැක්‌ක අතර සංසාර විමුක්‌තිය සලසා ගත හැක්‌කේ සිරුරට දැඩි දුක්‌ දීමෙන් පමණක්‌ බව ප්‍රකාශ කළහ. හෙතෙම සීමාන්තික අවිහිංසාවාදියෙක්‌ ද වීය.

මහා වීර උතුමා හා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගත් කල දෙදෙනාටම සමාන වූ බොහෝ ලක්‍ෂණ විය. බුදු දහමේ ආරම්භයේම එන පන්සිල් පද වලින් පළමු සිල් පද හතර ජෛනාගමේත් එලෙසම වේ. වෙනසකට ඇත්තේ පස්‌වන සිල් පදය පමණි. බුදු දහමේ පස්‌වැනි සිල් පදය මත්වීමට හා පමාවට හේතු වන සුරාව පානය නොකරමියි යන්නට ජෛන ධර්මයේ 5 වැනි සිල් පදය ලෙස එන්නේ ජීව, අජීව හැම දෙයක්‌ කෙරෙහිම ඇති ආශාව දුරුකරමියි යන්නය. දෙදෙනා වහන්සේම බ්‍රාහ්මණ මත දැඩිසේ පිටුදැක්‌කාහ. බොහෝවිට මේ ආගම් දෙකේම ඇති බලපෑම් එක්‌ එක්‌ ආගමට එකතුවන්නටද ඇත. බුදුරජාණන් වහන්සේ කිසිවිටෙක සමාජ සම්මත සිරිත් විරිත් පිටුනොදැක්‌ක අතර ඊට විරුද්ධ වූවේද නැත. උන්වහන්සේ හැමවිටම කළේ සමාජ සම්මත රීතීන් අගය කරමින් ඒවා යහමගට ගැනීමට අවශ්‍ය කරුණු පෙන්නා දීමය. සිඟාල ගෘහ පුත්‍රයා සදිසා නමස්‌කාර කරන විට බුදුරදුන් සදිසා නමස්‌කාරය වැරදී හෝ අර්ථ විරහිත ව්‍යායාමයක්‌ ලෙස නම් කර එය නවත්වන ලෙස උපදෙස්‌ නුදුන් අතර උන්වහන්සේ කළේ සදිසා නමස්‌කාරය ලෞකික ලෝකෝත්තර අංශ දෙකෙන්ම පරිපූර්ණත්වයට පත්වන කරුණු ඊට එකතු කර ඒ යහපත් මගෙහි මහඟු ප්‍රතිඵල පෙන්නා දීමය. බොහෝ කරුණු හා සිද්ධීන්වලින් මහාවීරතුමා සහ බුදුන් වහන්සේ එක හා සමාන වන්නේය. කුල වශයෙන් ගත් කල දෙදෙනාම ක්‍ෂත්‍රිය වංශිකයෝ වූහ. දෙදෙනාම විවාහ වූහ. දෙදෙනාම එක්‌ පුතකු බැගින් ලැබූහ. දෙදෙනාම තවත් විඳිනා භෞතික සැප සම්පත් ගැන කළකිරුණහ. දෙදෙනාම ගිහිගෙය හැර තවුස්‌ දම් රැකීමට ගියහ. දෙදෙනාම බ්‍රාහ්මණ ධර්මය පිළිකෙව් කළහ. දෙදෙනාම කුළ භේදය දැඩිසේ ප්‍රතික්‍ෂේප කළහ. වේදය යනු පරම ශුද්ධ ග්‍රන්ථ යන මතය දෙදෙනාම ප්‍රතික්‍ෂේප කළහ. පැවිදි බිමට පත් පසු දෙදෙනාම භික්‍ෂු භික්‍ෂුණී ශාසන ඇති කළහ. දෙදෙනා වහන්සේගේම ධර්මයෙන් නිර්මාණවාදයට කුල භේදයට තදින් පහර වැදුනෙන් බමුණන් විසින් මේ දෙදෙනා වහන්සේම මිත්‍යාදෘෂ්ඨිකයන් වශයෙන් හැඳින්වීමට පසුබට නොවූහ.

තව දුරටත් කරුණු සොයා බලන්නේ නම් ක්‍රි.පු. හයවන සියවස යනු නිදහස්‌ මතධාරීන්ගේ විමුක්‌තිකාමීන්ගේ යුගය බවත් ආසියාව මධ්‍ය ප්‍රදේශය වූ අතර ඉන්දියාව ඒ මතධාරීන්ගේ තෝතැන්න වූ බවත් පෙනී යයි. සිදුහතුන් ළදරු කල දේහ ලක්‍ෂණ බලා අනාවැකි කී මහාපඬි කොණ්‌ඩඤ්ඤ බමුණා සිදුහතුන් අබිනික්‌මන් කරන කාලය වන විට ජීවිතයේ යථාර්ථය නොහොත් විමුක්‌ති මාර්ගය සොයා තාපසයකු වී තිබිණි. අනාගතය දැකීමේ හැකියාවකින් හෙබියාවූ සුදාවුන් රජු ගුරු වූ අසිත තවුසා තම පුත් නාලකට ප්‍රවෘඡ්ජා භූමියට සැපත් වන සේ උපදෙස්‌ ලබාදී තිබුණි. ෂඩ්ශ්‍රාස්‌තෘවරුන් හැරුණ විට ආළාර කාළාම, උද්දකරාම පුත්‍ර වැනි සුවිශේෂ දැනුම් සම්භාරයකින් යුක්‌ත අය තවුස්‌ දම් පිරුවා පමණක්‌ නොව ඔවුන් වටා සිය දහස්‌ ගණනින් සංසාර විමුක්‌තිය සොයා ගිය තරුණයෝ වූහ.

සිදුහතුන් මුල් කාලයේ ඇසුරු කළ පසුව පස්‌වග මහණුන් නමින් ප්‍රසිද්ධ වූ කොඤ්ඩඤ්ඤ පඬිතුමා හැරුණ විට භද්දිය වප්ප, මහානාම, අස්‌සජි යන සිව්දෙනා ද බුද්ධිමතුන්ය. සිදුහත් තවුසාණන් සම්මා සම්බුද්ධත්වයට පත්වූ පසු වුවද ඒ සියවස්‌ තිබූ විමුක්‌තිකාමී අදහස්‌ අති ශීඝ්‍රයෙන් පැතිර ගියා මිස එහි කිසිදු අයුරක අඩුවක්‌ නොවීය. බුදු හිමියන් වෙත ගිය සිය දහස්‌ ගණනක්‌ තරුණයෝ වැඩිහිටියෝ සද්ධර්මය අසා පැහැදී මහණ වූ අතර ෂඩ්ශාස්‌තෘවරුන් හා වෙනත් ආගමිකයන්ගේ සෙවනේද දහස්‌ ගණන් විමුක්‌තිය සොයා ගිය අය වීය. උරුවේල කාශ්‍යප, නදිකාශ්‍යප, ගයා කාශ්‍යප ආදීන් ගත්තද ඔවුන් අනුගමනය කළ දහස්‌ ගණන් පිරිස විය. ඉතාම ඉහළ දැනුමකින් යුතු ප්‍රාඥයෝ දෙදෙනකු වූ කෝලිත, උපතිස්‌ස විමුක්‌තිය සොයා ගම් දව් සැරිසැරූ තරුණයෝ වූහ. අස්‌සජී හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ඔවුන් දෙදෙන තමන් වහන්සේ කරා එනු දුටු බුදුන් වහන්සේ අර එන්නේ මගේ අගසව් දෙනම යෑයි කීහ. පැවිදි වූ පසු සැරියුත් මුගලන් නම් වූ මහරහතුන් වූයේ මේ ප්‍රාඥයෝ දෙදෙනාය.

බුදුරදුන් කළ බුදු සසුනේ මහණ වූ අසූමහ සව්වන් ඇතුළු බොහෝ පිරිස්‌ ගැන බලන කල ඔවුන් ලාභ සත්කාර සම්මාන සඳහා මහණ වූ අය නොව විමුක්‌තිය පතාම බුදු හිමි වෙත පැමිණි අය බව පැහැදිලිය. නම් වශයෙන් ඉතා ලුහුඬින් සඳහන් කරන්නේ නම් අනුරුද්ධ ආනන්ද භගු කිම්බිල, දේවදත්ත, යස වැනි අය ගත්තද ඔවුන් ශාක්‍ය වංශික නම් ඉහළම කුලයේ අය වූ අතර රජවරුන්ගේ පුතුන් හෝ සිටුවරුන් නැති නම් මහා ප්‍රභූවරුන්ගේ දරුවෝ වූහ.

මේ හැම කරුණකින්ම පැහැදිලි වන්නේ ක්‍රි.පු. හයවැනි සියවස නොහොත් සිදුහත් කුමරු අබිනික්‌මන් කළ කාලය සමස්‌ත මානව වර්ගයාගේම බුද්ධි ප්‍රසාරණයේ උච්චතම අවස්‌ථාව වූ බවය. ඒ විමුක්‌ති මාර්ගයේ ප්‍රභවය කොතෙක්‌ද යත් විසිඑක්‌වන සියවස වූ අද පවා සියවස්‌ විසිහතක්‌ පුරා ලෝක සාමයටත් ජාතීන් අතර සහජීවනයටත් මිනිසත් බවේ අග්‍ර ඵලයටත් මග හෙළිකරන්නේ පහන්වැටක්‌ වන්නේ එදා දැල්වූ පහන් සිළුවමය. එහි අසම සම මහ පහන් ටැඹ වන්නේ තිලෝගුරු සම්මා සම්බුදු අමාමෑණි බුදුපියාණන් වහන්සේය.

සිදුහත් කුමරා යනු ලොව්තුරා බුද්ධත්වය පතා ආ මහ බෝසතාණන් වහන්සේ වුවද මෙතෙක්‌ ගොනු කළ කරුණු අනුව සිදුහත් තුමාට ගිහිගෙයින් නික්‌ම යැමට පදනම ගෙන දෙන්නේ එකල පැවති සමාජයේ උගත් බුද්ධිමත් සමාජ ස්‌ථරය බව පෙනේ. එක දිගට දුටු සතර පෙර නිමිති එතුමාගේ ගමන ඉක්‌මන් කළා විය හැක. සම්බුදු රජුන් පිරිණිවන් පෑමට කලින් බුදුහිමි දෙපා වැඳ පිරිනිවන් පෑමට කාලය පැමිණ ඇති බැවින් ඒ බව දන්වන්න පැමිණි මහා ප්‍රජාපතී ගෝතමි මහ රහත් මෙහෙණින් වහන්සේ එවකට වසර 120 ක්‌ ආයු වළඳා සිටි බව සමහර ධර්ම ග්‍රන්ථවල සඳහන්ය. මෙය සත්‍ය නම් එතුමිය බුදුරදුන්ට වඩා වසර 40 ක්‌ වැඩිමහළුය. එසේනම් අද මෙන් ප්ලාස්‌ටික්‌ ශල්‍යකර්ම නොතිබූ එකල සිදුහත් කුමරු ගිහිගෙය හැර යන විට සිය සුළු මව වසර 70 ආසන්න මහළු කාන්තාවකි. සුදොවුන් රජු ඊට ද වඩා වයස්‌ගතව තිබිය යුතුය. මහලු බව පමණක්‌ නොව සිය මව්තුමිය අකාලයේ මියගිය බව සිදුහත් කුමරු නොදැන සිටියා යයි කිව නොහැක.

නිදහස්‌ මතධාරීන්ගේ හා ආත්ම විමුක්‌තිය පතා දහම් මග සෙවුවන්ගේ තෝතැන්න වූ ඉන්දියාව තුළ ක්‍රි.පු. 6 වන සියවස වන විට අධ්‍යාත්මික පුනර්ජීවය පතා විවිධ තාපස නිකාය ඇතිවූ අතර ලෞකික ජීවිතය දුක්‌ක කම්කටොළු වලින් පිරි අසාරවූ අවධිමත් වූ අනියත වූ තාවකාලික එකක්‌ බව වැටහුණ වාතාවරණයක්‌ ඇතිවීය. එනිසාම ඒ දුක්‌ කම්කටොළුවලින් මිදී පරම ශාන්තිය ලබාගැනීමේ මගක්‌ සොයා ගැනීමට බොහෝ පිරිස්‌ උත්සුක වූහ. තරුණ සිද්ධාර්ථ කුමරු හටද නික්‌මයාමේ අදහස ඇති කරන්නේ මේ සමාජ සම්ප්‍රදායමය. කෙසේ වෙතත් එදා පැවති ඒ සමාජ බලපෑම සමාජ විපර්යාසය නිසා මුළු ලොවටම උදා වූයේ මිනිස්‌ මුවකින් කියා නිම කළ නොහැකි ශාන්තියකි. ඒ සමාජ කතිකාවත නිසා සිදුහත් කුමරු අබිනික්‌මනට යොමු වූ අතර එහි ප්‍රතිඵලය වූයේ තිලොවටම තිලකවූ තිලෝගුරු වූ අසම සම අමාමෑණි බුදුපියාණන් ලොවට පහළවීමය. බුදු උපත යනු බුදු දහම ලොව පවතින තාක්‌ කල් සියලු උත්සාහවන්තයින්ට අමා මහ නිවනෙහි මාර්ගය හෙළි පෙහෙළි වීමය. Credit to Divaina

No comments:

Post a Comment