Saturday 18 May 2019

කොළඹ නගරයට ආ.. නෙලුම් කුලුනේ රසවත් කතාව






ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිහිටි ස්ථානය ලෙසින් මේ කුලුණ තව නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කෙරෙනු ඇත.


නෙලුම් කුලුනේ මේ ආකාරයෙන් ඉදි වූයේ ඇයි යන ප්‍රශ්නය ඇතැමෙකුට මතුවන්නට ඉඩ ඇත. ඒ හා බැදී පවතින්නේ රසවත් කතාවකි.

2008 වසරේ දී පෑලියගොඩ ඉංජිනේරු සංස්‌ථා වැඩබිමට අයත් භුමියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට බහුකාර්ය විදුලි සංදේශ කුලුනක්‌ ඉදි කිරීමට තීන්දු කර තිබුණි. ඒ සඳහා පෑලියගොඩ ඉංජිනේරු සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර දහයක ඉඩමේ ඉංජිනේරුවෝ පරීක්ෂණ කටයුතු කළහ. ඔවුහු එම භූමියේ කුඩා දිය පොකුණක ඉහළට මතු වී තිබූ නෙළුම් මලක්‌ දුටුවහ. යෝජිත කුලුන නෙළුම් දණ්‌ඩක්‌ හා නෙළුම් මලක්‌ ලෙස නිර්මාණය කිරීමේ අදහස මතු වුණේ එහිදීය.

එයට සියල්ලන් ගේ අනුමැතිය හිමි වූ නිසා එතැන් සිට කුලුනේ සංකල්පමය සැලසුම් සියල්ල නෙළුම් දණ්‌ඩක්‌ හා එහි ඉහළ කෙළවරේ වූ නෙළුම් මලක හැඩය ගනු ලැබී ය. ඒ නෙළුම් කුලුනේ සැලසුමේ කතාවයි. එසේ වුවද භූමියට යම් අපලයක් ඇති විය. ඒ අනුව පෑලියගොඩින් එය කොළඹ නගරයට ආවේය. අද අපි දකින්නේ එසේ ඉදි වූ නෙළුම් කුලුනයි.

පිපුණු නෙළුමක් සේ ඉහළට ඇදී ගිය මේ නෙළුම් කුළුනේ අසිරිය සොයා අපි ගියෙමු.

ආසන්න වශයෙන් අඩි 1000ක් පමණ උසකින් යුක්ත වුවත් සාමාන්‍ය ජනතාවට එහි යා හැක්කේ අඩි 802ක් දක්වා වන උසකට පමණි. එහි සිට කොළඹ නගරයම දෙස නෙත් හැර බලන්නට හැකියාව ලැබෙනු ඇත.


ශ්‍රී ලංකාවේ ගොඩනැඟිල්ලක ඇති වේගවත්ම විදුලි සෝපාන පද්ධතිය ස්ථාපිතව ඇත්තේ නෙළුම් කුලුනේය.

එහි විදුලි සෝපාන 8ක් ස්ථාපිත කර ඇත. එයින් සෝපාන 3ක් කුලුණේ පාදමේ ඇති මහල් කරා ගමන් කිරීමටය.

පළමු මහල් 4න් 3ක් වෙන් වන්නේ සාප්පු සංකීර්ණයන් වෙනුවෙනි. ඒ සඳහා ස්වයංක්‍රීය පඩිපෙළද සමන්විතය. නෙළුම් කුලුනේ මධ්‍යයේ ගමන් කර ඉහළට ගිය විට හමුවන පොහොට්ටුවේ පළමු මහල් දෙක වෙන්වන්නේ විදුලි සංදේශ හා සන්නිවේදන අංශ වෙනුවෙන්ය. එය සාමාන්‍ය ජනතාවට නැරැඹිය නොහැකි විශේෂ ආරක්ෂිත කලාපයකි.

3 වැනි මහල හා 4 වැනි මහල් වෙන්ව ඇත්තේ විශේෂ උත්සව හෝ සම්මන්ත්‍රණ පැවැත්විය හැකි ‘බැන්ක්වට් හෝල්‘ දෙකක් වෙනුවෙනි. ඒ එක් උත්සව ශාලාවක 300කට පහසුවෙන් අසුන් ගත හැකිය.

5 වන මහල වෙන් වන්නේ කැරකෙන අවහන්හලටය. එය එක තැනක අසුන් ගෙන ශ්‍රී ලංකාවේ කොළඹ නගරය හතර වටේටම එකවර නැරඹිය හැකි එකම ස්ථානය වේ. සෙමෙන් කැරකැවෙන මේ සුපිරි භෝජනාගාරයේ අසුන් ගත් අයකුට එම භෝජනාගාරයේ තමා අසුන්ගෙන සිටින ප්‍රදේශය සෙමෙන් කැරකැවෙන බවක් කිසිසේත්ම නොදැනේ. එය පැය එකහමාරක කාලයකදී එක් වටයක් ගොස් පැමිණේ.



කුලුනේ 6 වැනි මහල වෙන් වන්නේ සුපිරි හෝටල් කාමර වෙනුවෙනි.

7 වෙනි මහල නිදහසේ කොළඹ නගරය නැරඹිය හැකි නැරඹුම් ප්‍රදේශයයි. එහි නිදහසේ ගමන්කරමින් නගරය වටේටම නැරඹිය හැකිය. ගිනි පෙට්ටි ඇමුණුවා සේ ගමන් කරනු ලබන දුම්රියයන් හා සෙල්ලම් බස් සේ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ගමන් කරනු ලබන බස් රථ අපට එහිදී නැරැඹිය හැකිය.

එසේම අනෙක් පසින් කොළඹ වරාය නගරයද සම්පූර්ණයෙන්ම නැරැඹීමට හැකියාව තිබේ.

කුලුනේ 8 සහ 9 මහල්ද විශේෂ ආරක්ෂිත වන අතර 8 වන මහල විවිධ යන්ත්‍රෝපකරණ හා 9 වන මහල ජල ටැංකි ආදිය සඳහා වෙන් කර ඇත. කුලුනේ ඉහළටම විහිදී යන ඇන්ටෙනාවෙන් සමස්ත ගුවන් විදුලි හා රූපවාහිනී හා දුරකතන සේවාවන් වෙනුවෙන් සපයන්නේ මහත්ම වූ සේවාවකි. ජනතාවට පැහැදිලි රූප රාමු මෙන්ම පැහැදිලි හඬ ලබා දීම වෙනුවෙන් එම ඇන්ටෙනාවෙන් කරනු ලබන සේවාව අතිවිශාලය. සාමාන්‍ය බිම් මට්ටමේ සිට බැලූ විට මෙන් නොව 7 වන මහල දක්වා ගිය විට එහි උස මැනවින් පෙනේ. ඇන්ටෙනාවේ උස පමණක් අඩි 650කි.

නෙළුම් කුලුන හැඳින්වෙන්නේද අධි තාක්‌ෂණික ගොඩනැඟිල්ලක්‌ ලෙසිනි. මෙහි එක් ගොඩනැඟිල්ලක සිට ඉහළම හා එක්‌ එක්‌ මහල වෙත යා යුතු වන්නේ ස්‌වයං අවසර පත්‍ර ක්‍රමවේදයක්‌ ඔස්‌සේය. ඒ අනුව එක්‌ මහලක්‌ සඳහා ලබා දෙන විද්‍යුත් අවසර කාඩ් පතකින් තවත් මහලකට ඇතුළු විය නොහැකිය.

උදාහරණයක්‌ ලෙස ගතහොත් බැංක්වට්‌ ශාලාවකට ඇතුළු වීමට ලබා දෙනු ලබන විද්‍යුත් අවසර කාඩ් පතකින් කැරකෙන අවන්හලට ඇතුළු විය නොහැකිය.

එම නිසා ආරක්ෂාව උපරිම ලෙස යොදවා ඇත. කුලුනට ඇතුළුවීමේදී ස්වයංක්‍රීය දොරටුවලදී කාඩ්පතක් ලබා ගත යුතුය. තමන්ට යා යුතු ස්ථානයට අදාළ කාඩ්පත ලබා ගන්නා තුරු කුලුනට ඇතුළු විය නොහැකිය.

චීන ජාතික සේවකයින් 50 ක් හා ශ්‍රී ලාංකික සේවකයින් 150ක් පමණ මේ වන විට එහි සේවය කරන අතර එහි වැඩ කටයුතු සියල්ල දැන් අවසන් අදියරේය.

මේ සඳහා වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 104.3 කි. ණය මුදල් සපයනු ලැබුවේ චීනයේ එක්සිම් (Exim) බැංකුව මගිනි.

‘‘මේ මාසය තුළ කෙසේ හෝ වැඩ නිම කර කුලුන රජයට ලබා දීමට අපි බලාපොරොත්තු වනවා. එය ජූනි මස විවෘත කරනු ඇතැයිද අපි අපේක්ෂා කරනවා. චීන හා ශ්‍රී ලංකා සුසංයෝගයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. නගරයේ ඇති අලංකාරම ස්ථානය ලෙසින්ද මෙය මා හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා එය පැවසූ නිසයි. මගේ අදහසත් එයයි.

එමෙන්ම කුලුනේ ඉහළම ඇති නෙළුම් පොහොට්ටුව අවශ්‍ය අයුරින් ආලෝකය වර්ණ ගන්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස වෙසක් උත්සවයට, පොසොන් උත්සවය වගේම නත්තල් උත්සවයට වැනි විශේෂ අවස්ථාවලදී අපට අවශ්‍ය ආකාරයෙන් මේ පොහොට්ටුවේ වර්ණ විදුලි එළිය ලබා දෙන්නට පුළුවන්.

ඒ වගේම කොළඹ නගරයේ අලංකාරය නරඹන්න පුළුළුන් වෙන ආකාරයේ කැරකැවෙන අවන්හල වටිනාම මෙන්ම විශේෂිත අංගයක් . එය ශ්‍රී ලංකාවට අලුත්ම අත්දැකීමක් වේවි. මීට පෙර මෙරට ඒ ආකාරයේ ස්ථානයක් නොතිබු බවයි අපට වාර්තා කර තිබෙන්නේ. ලංකාව වගේ රටක මේ වගේ කාර්යයක් කරන්න ලැබීම ඇත්තෙන්ම මට ලොකු සතුටක්‘‘

ඒ නෙළුම් කුලුනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ චීන ජාතික කායි ෂියෝෆෙන්ග් මහතායි.

කැරකෙන අවන්හලේද බැන්ක්වට් ශාලාවේ මෙන්ම එකවර 300 දෙනකුට අසුන් ගත හැකිය. තත්පරයකදී මීටර් 7ක්‌ ඉහළ නඟින විදුලි සෝපාන ඔස්සේ තත්පර 37 කදී කුලුන මුදුනටම ළඟා විය හැකිය. එම සෝපාන ඔස්සේ එකවර 80 දෙනකුට කුලුන මුදුනට යා හැකිය.

අලංකාරය නැරැඹීම පිණිස එකවර දහසක්‌ පමණ දෙනාට නෙළුම් කුලුනේ ඉහළ රැඳී සිටීමේ හැකියාවද ඇත.

නෙළුම් කුලුන ආරම්භක සංකල්පයේ සන්නිවේදන අවශ්‍යතාවලට අමතර ව, විනෝදාත්මක, වෙළෙඳ හා සංචාරක ප්‍රවර්ධන අරමුණු පෙරදැරි කරගෙන සංකල්ප සැලසුම් නිර්මාණය වෙමින් තිබුණද පසුව ඇති වූ ගැටලු මත කුලුනේ මූලික අරමුණුවලට අදාළ අංගෝපාංග රාශියක වෙනස්කම් ඇති‌ විය. ආරම්භක සැලසුමේ ඩිස්‌නිලන්තයට සමානකම් දක්වන උද්‍යානයක්‌ ද ඇතුළත් විය.

නෙළුම් කුලුණ ආරම්භයේදී පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු යොදා තිබුණද පසුව වර්තමානයේ භූමිභාගයට එය ගෙන යාම නිසා විනෝදාස්වාද පිණිස යොදා ගැන්මට තිබුණු ඉඩකඩ සීමා විය. එහෙයින් ඉදිරියේදී මෙහි දෙවන අදියරක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

ඒ අනුව නෙළුම් කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේම දෙවන අදියරක් සඳහාද සැලසුම් කර ඇත. එහි වාහන 2000ක් ගාල් කර හැකි භුගත රථ ගාලක් අඩු ආදායම්ලාභියාගේ සිට සුපිරි ආර්ථික මට්ටම් අය සඳහා වෙන්වන සාප්පු සංකීර්ණයක්, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් (gym), පිහිනුම් තටාකයක් හා සිනමා ශාලාවක් ද ස්ථාපිත කිරීමට යෝජිතය.

ආරම්භයේදී පෑලියගොඩ හෙක්ටයාර 10 වෙනුවට නෙළුම් කුලුනට දැන් හිමිව ඇත්තේ බේරේ වැව අසබඩ වූ හෙක්‌ටයාර 3.1ක්‌ වූ ඉඩමක් පමණි. අප පෙර කී දෙවන අදියරට ඊට යාබද ව වූ තවත් අක්‌කර පහක ඉඩමක්‌ ලබා ගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

බේරේ වැව ආසන්නයේම මෙම කුලුන නිර්මාණය කරද්දී පොළොව යටටම කනු බැස්සීමට සිදුව ඇත.. ඇතැම් විට භූගත පාෂාණ දක්වාම මෙම කුලුන අඩිය සවි කිරීමට සිදුව ඇත. එම නිසා ඇතැම් සිදුරු කිරීම් බේරේ වැවට වඩා බොහෝ පහළටම ගැඹුරට ගොස් ඇත.

ලබන මස වන විට නෙළුම් කුලුණ අපට විවෘත වුවද මෙයට ඇතුළු වීම උදෙසා යම් ගෙවීමක් ලබා දීමට සිදුවනු ඇත. විශේෂයෙන්ම කොලඹ අවට සිරි නැරඹීමට පැමිණෙන පිරිස් හට එම අත්දැකීම ලබා දෙන්නට යම් වියදමක් දරන්නට සිදු වනු ඇත.හෙට දිනයේ කොළඹ නගරයේ සිටගත යෝධයක් සේ පෙනී සිටින නෙළුම් කුලුණ අපට හිමිවීමෙන් පසුව එහි ගමන් කර අවට සිරි නැරඹීමේ හැකියාව ඔබටත් උදාවනු ඇත. 
------------------------------------------------------------
තාරක වික්‍රමසේකර විසිනි .සේයාරූ - සමන්ත වීරසිරි
Credit: Silumina

No comments:

Post a Comment