Tuesday 20 October 2015

යුද්ධයේ අවසන් පැය දොළහ තුළදී සිවිල් වැසියන් මැරුවේ එල්.ටී.ටී.ඊ.යයි පරණගම උදලාගම කොමිෂන් කියයි.



යුද්ධයේ අවසන් පැය දොළහ තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් බවට සාක්ෂි හා තොරතුරු මත තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ පරණගම කොමිසමේ වාර්තාවේ සඳහන් කර ඇත.

පරණගම කොමිසමේ වාර්තාව
සහ දරුණු ගණයේ මානවහිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ උදලාගම කොමිසමේ වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඊට අමතරව යුද්ධය පැවැති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයා බැලීමට ස්වාධීන ස්ථාවර කමිටුවක් පත් කළ යුතු බවටද උදාලාගම කොමිසමේ වාර්තාව නිර්දේශ කර තිබේ. සෙංචෝ‍ලේ ළමා නිවාසයේ 51 දෙනකු ඝාතනයවීම, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් 17 දෙනෙකු ඝාතනයවීම, මූතුර් හි මුස්ලිම් ජාතිකයන් 14ක් ඝාතනයවීම ඇතුළු
සිද්ධීන් 16ක් පිළිබඳව උදලාගම කොමිසම විමර්ශනය කර තිබුණි.
පරණගම කොමිසමේ වාර්තාවට අනුව යුද්ධය අවසාන කාලයේදී මිය ගිය සිවිල් ජනතාවගේ මරණවලට මූලික වශයෙන් වගකිව යුත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය බවටද නිර්දේශ කර ඇත. කොටි සංවිධානය සිය යුදමය අරමුණු තහවුරු කර ගැනීම සඳහා තුන්ලක්ෂයත් තුන්ලක්ෂ තිස්පන්දහසත් අතර සිවිල් ජනතාවක් සිය භාරයේ රඳවා තබා ගනිමින් ඔවුන් මරාදැමීමට කටයුතු කළ බවද පරණගම වාර්තාවේ සඳහන් වේ.
මෙම සිවිල් ජනතාව මිනිස් පවුරක් ලෙස යොදා ගත් එල්.ටී.ටී.ඊ සංවිධානය සිය නායකත්වයේ බලය පවත්වාගෙන යාම උදෙසා සිවිල් ජනතාවගේ ජීවිත යොදා ගත් බවද දක්වා ඇත. තවද දරුවන් ඇතුළු සිවිල් ජනතාවට බලහත්කාරයෙන් ආයුධ අතට දී ඉදිරියට යැවූ එල්.ටී.ටී.ඊ ය සිය භාරයෙන් මිදී පලායාමට තැත් කළ සිවිල් ජනතාව ඝාතනය කර ඇති බවටද පරණගම කොමිසම් වාර්තාවේ දැක්වේ.
සිවිල් ජනතාව රැඳී සිටි ප්‍රදේශවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ.ය එම ක්‍රියාව හමුදාව විසින් කළ බව පෙන්වා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබා ගැනිමට උත්සාහ කර ඇතැයිද පරණගම කොමිසම කියා සිටියි. එල්.ටී.ටී.ඊ ය විසින් සිවිල් ජනතාව අතර සිය බර අවි ස්ථානගත කර තිබූ බව ද සාක්ෂි ඔස්සේ තහවුරු කර තිබූ බවද දක්වා ඇත.
එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් මිදී නන්දිකඩාල් කළපුව හරහා පැමිණි සිවිල් ජනතාවගෙන් පිරිසක් දියේ ගිලී මිය ගොස් ඇතැයිද හමුදාව නොමග යැවිම සඳහා කොටි සාමාජිකයන්ට සිවිල් ඇඳුම් අන්දවා තිබූ බවද පරණගම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකා හමුදාවට සමූල ඝාතන චෝදනා එල්ල කිරීම පරණගම කොමිසමප්‍රතික්ෂේප කරනා අතර එක්සත් ජාතීන්ගේ මහ‍ලේකම් පත් කළ දරුස්මාන් කමිටුවේ වාර්තාවද වැරදි සහගත බවද පරණගම කොමිසම පෙන්වා දෙයි.
අන්තර්ජාතික යුද අපරාධවලට රජය ලක් කිරීමේ අදහසින් දරුස්මාන් වාර්තාව සකසා ඇතැයිද පවසන පරණගම වාර්තාව සිවිල් ජනතාව හතළිස් දහසක් මිය ගිය බවට දරුස්මාන් වාර්තාව සඳහන් කර ඇතත් එවැන්නක් පිළිගත නොහැකි බවද කියා සිටියි. දරුස්මාන් වාර්තාව ඒ බව පවසන්නේ ක්ෂේත්‍රයට ගොස් නොව එක එක්කෙනාගෙන් ලද ආරංචි ඔස්සේ බවද දක්වා ඇත.
අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීිමට කාර්යක්ෂම යාන්ත්‍රණයක් මට්ටම් කිහිපයක් යටතේ ස්ථාපිත කළ යුතු බවටද පරණගම කොමිසම නිර්දේශ කර ඇත. එසේම පරණගම කොමිසම අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අදාළ නඩු කටයුතු කඩිනම් කළ යුතු බවද දක්වා ඇත.
අතුරුදන්වූවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමට පහසුකම් සැලසිය යුතු බවද ඔවුන් වෙත මානසික උපදේශන සේවා දිය යුතු බවටද උදාලාගම කොමිසම නිර්දේශ කර තිබේ.
මැක්ස්වල් පරණගම මහතාගේ සහභාගිත්වයෙන් යුත් පරණගම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස සුරන්ජන් විද්‍යාරත්න, මනෝ රාමනාදන්, ඩබ්ලිව්.ඒ.ටී. රත්නායක, එච්. සුමනපාල යන මහත්වරුන් කටයුතු කර ඇත.
එන්.කේ. උදලාගම මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස උපවංශ යාපා, ආචාර්ය දේනේෂන් නේසයියා, කේ.සී. ලෝගේෂ්වරන්, මනෝරි මුත්තෙට්ටුවේගම, ජසිමා ස්මයිල්, එස්. විජේරත්න, ජාවිඩ් යුසුෆ්, ඩග්ලස් ප්‍රේමරත්න, ෆයිසාල් රසීන් සහ ඩෙන්සිල් ජේ. ගුණරත්න යන මහත්ම මහත්මීන් කටයුතු කර තිබේ.

No comments:

Post a Comment