Sunday 18 November 2018

විධායක ජනාධිපති අද දැන් ගතයුතු ගත හැකි තීරණය මෙන්න.

අධිකරණය ඉදිරියේ ඇති නඩුවක් සම්බන්ධයෙන් කරුණු (merits ) ප්‍රසිද්ධියේ සාකච්ඡ කිරීමෙන් මම වලකිමි. මන්ද එය sub judice (under judicial consideration and therefore prohibited from public discussion elsewhere) වන හෙයිනි.

එහෙත් මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරු විට ඇතිවන ඉදිරි ක්‍රියාමාර්ග ගැන සරළ අවභෝධයක් ලබා ගැනීම, එවැනි නඩුවක් පිළිබඳව සදොස් අදහස් දැක්වීම් හා නොදැනුවත්ව සිදුකරන ප්‍රකාශ වලක්වා ගැනීමට බෙහෙවින් උපකාරී වනු ඇත.
අප රටේ මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයේ සඳහන් කොට ඇත.
එහිදී ඕනෑම තැනැත්තෙකුට හිමි මුලික අයිතිවාසිකම් හා පුරවැසියනට පමණක් හිමි මුලික අයිතිවාසිකම් වශයෙන් කොටස් දෙකකට වැටෙන අයිතිවාසිකම් සඳහන්ව ඇත.
කෙසේ හෝ මුලික අයිතිවාසිකම් නඩුවක් විමසීමට බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. ඒ අනුව මුලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලුම් පත්‍රයක් ගොනු කරනු ලබන අයකුව "පෙත්සම්කරු යැ" යි හඳුන්වනු ලැබේ.


එකී ඉල්ලුම් පත්‍රයෙන් ස්වකිය අයිතිවාසිකම් කඩ කල බවට චෝදනාවට පාත්‍ර වන පාර්ශ්වය "වගඋත්තරකරුවන්" වශයෙන් හඳුන්වයි. කෙසේ වෙතත් සැම මුලික අයිතිවාසිකම් පෙත්සමකම, ජනරජයේ නීතිපතිවරයාද වගඋත්තරකරුවකු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ.

මුලික අයිතිවාසිකම් පෙත්සමක් පැවරු පසු එහි මුලික අයිතිවාසිකම් කඩකලා යැයි කියන කරුණු බැලූ බැල්මට විමසා තීන්දුවක් දීමට තරම් සුදුසු දැයි තීරණය කිරීමට අධිකරණය මුලිකව ක්‍රියා කරනු ඇත. එහිදී පෙත්සම්කරු හෝ ස්වකිය නීතිඥවරුන් විසින් ඒ පිළිබඳව මුලික කරුණු තහවුරු කිරීමක් සිදු කරයි. ( supporting the application ).

කරුණු තහවුරු කිරීමෙන් පසුව සාමාන්‍යයෙන් විය හැකි ප්‍රතිපල 2 කි.

1. බැලූ බැල්මට විමසා තීන්දුවක් දීමට තරම් සුදුසු බව තීරණය කොට නඩුව ඉදිරියට ගෙන යාමට - විවාද කොට තීරණයක් ලබාදීමට - අවසර ලබාදීම (granting leave to proceed).



2. බැලූ බැල්මට විමසා තීන්දුවක් දීමට තරම් කාරණා ඉදිරිපත්කොට නොමැතිය යන පදනමේ සිට නඩුව / පෙත්සම මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කිරීම. (refusing leave to proceed)



නඩුව ඉදිරියට ගෙනයාමට අවසර දුන් කල්හි වග උත්තරකරුවන්ට ඒ සම්බන්ධයෙන් කරුණු කියා පෑමට අවකාශය සලසමින් නොතිසි නිකුත් කරනු ලැබේ. එහි තේරුම වග උත්තරකාර පාර්ශවයට ඒ සම්බන්ධයෙන් කීමට ඇති කරුණු අධිකරණය ඉදිරියේ තැබීමට ස්වභාවික යුක්ති මුලධර්ම මත අයිතිවාසිකමක් පවතින හෙයිනි.

ඒ අනුව නියම කරන දින වග උත්තරකරුවන් ස්වකිය විරෝධතාවයන් ඉදිරිපත් කල යුතු අතර ඉන් අනතුරුව නැවතත් පෙත්සම් කරුට එකී විරෝධතාවන් වෙනුවෙන් අවශ්‍යනම් ප්‍රති-විරෝධතාවයන් ගොනු කිරීමටද සාමාන්‍යයෙන් අවකාශය සලසනු ඇත.

ඉන්පසුවයි දෙපාර්ශවය විසින් විවාද කිරීමට පදනම් වන ස්වකිය තර්කයන් ලිඛිතව ඉදිරිපත් කරනුයේ. ඉක්බිති නියම කරන ලද විමසීමේ දිනක / දිනයන්හිදී දෙපාර්ශවයේ විවාදය සිදු කරනු ලබයි.

අනතුරුව එදිනම හෝ නැතහොත් පසු දිනක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබේ.

වත්මන් පාර්ලිමේන්තුව විසිරවිම අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද පෙත්සම් අනුසාරයෙන් ද ඉහත මා කී ක්‍රියා පටිපාටියම අනුගමනය වේ.

ඒ අනුව අධිකරණය විසින්

1. පෙත්සම විවාද කොට තීරණය කිරීම උදෙසා, එනම් ඉදිරියට පවත්වාගෙන යාමට අවකාශය ලබාදී ඇත. (Granted leave to proceed)

2. අතුරු නියෝගයන් ද ලබා දී ඇත. (Interim orders)

අතුරු නියෝගයන් වශයෙන්

1. ජනාධිපති වරයා විසින් නිකුත් කල පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීමද,

2. දින දුන් මහමැතිවරණය සඳහා මැතිවරණ කොමිෂම විසින් අවශ්‍ය පියවර ගැනීමද,

තාවකාලිකව දෙසැම්බර් 07 දින තෙක් බලපැවැත්වෙන පරිදි අත්හිටුවා ඇත.

අධිකරණයේ දෙන තීන්දුව පෙත්සම් කරුවන්ට පක්ෂව හෝ විපක්ෂව ලබාදීමේ සම්භාවිතාවක් පමණක් පවතින බව ඕනෑම අයකුට පෙනී යන කරුණක් වේ. සාමාන්‍ය භාෂාවෙන් කියුවොත් එක්කෝ නඩුව පැවරූ අය දිනයි. නැත්නම් පරදියි. ඒ පිලිබඳ තර්කයක් නැත.

අධිකරණ තීන්දුව පෙත්සම් කරුවන්ට පක්ෂව ලැබුනහොත් එමගින් පාර්ලිමේන්තුව විසුරැවීම අවලංගු වේ. එය විසුරුවපු දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු වේ.

එවිට එදිනට සිටි අමාත්‍ය මණ්ඩලය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට නැවතත් පෙර පරිදි ක්‍රියා කිරීමට අවකාශය ලැබේ.

එය එසේ වුවහොත් මේ වන විට කැඳවා ඇති පාර්ලිමේන්තුවේ එදිනෙදා කටයුතු නීතියට අනුකුලව සිදුවන්නේනම් එහිදී සිදුවන වෙනස්වීම් වලට යටත්ව නඩු තීන්දුවෙන් පසුවද ඉදිරියට යා හැකිවේ.

අධිකරණය වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කොට ඔවුන්ගේ අදහස් ද සලකා බැලීමට ක්‍රියා කරද්දී, පෙත්සම් කරුවන්ට පක්ෂව අවසාන තීන්දුව ලබා දීමට සිදු වුනහොත් ඒ වනවිට මැතිවරණය සඳහා ක්‍රියා මාර්ග ගෙන තිබුණහොත්, එය පෙත්සම්කරුවන්ට බරපතල අගතියක් වනවා මෙන්ම අධික මුල්‍යමය පාඩුවක් රජයට දැරීමට සිදුවන හෙයින් ද, අධිකරණය සාමානයෙන් මෙවැනි අතුරු නියෝගයක් ලබාදීමට ක්‍රියා කර ඇති බව පෙනේ. එය අධිකරණයේ අභිමතය වන අතර එයට අභියෝග කිරීමට කිසිවෙකුට නොහැකිවේ.

නොඑසේනම් පෙත්සම් කරුවන් නඩුව පැරදුනොත් ගැසට් නියෝගය නිකුත් කල දින සිටම පාර්ලිමේන්තුව විසිරීම ස්ථිර වේ. ඒ අනුව නැවත රැස්වූ පාර්ලිමේන්තුවේ සියලු කටයුතු වලංගු නොවන තත්ත්වයක් මතුවේ.

එසේ වුවහොත් එමගින් බරපතල ව්‍යවස්ථා අර්බුධයක් නිර්මාණයවේ. අධිකරණයේ අතුරු නියෝගයට අවනතවෙමින් පෙරකී ව්‍යවස්ථා අර්බුධය වැලක්වීමට හැක්කේ කාටද? එය ඉතා ගැඹුරින් සලකා බැලිය යුතුවේ.



පාර්ලිමේන්තුව නිශ්චිත දිනක් දක්වා එනම් නඩුවේ තීරණය ලබා දෙන තෙක් කල් දැමීමට ක්‍රියා කලේ නම් එමගින් ඉහතකී ව්‍යවස්ථා අර්බුධයක් නිර්මානයවිමේ 50% ක සම්භාවිතාවය වැළකීමට හැකියාව ඇති බව ඔබ පිළිගනු ඇත.

එය සිදුකිරීමට නීති ප්‍රකාරව බලය ඇති එකම පුද්ගලයා වනුයේ ජනරජයේ විධායක ජනාධිපතිවරයා වේ. ඔහු විසින් එවන් ක්‍රියාවක් ගනු ලැබුවේ නම් එමගින් අධිකරණය ලබාදුන් අතුරු නියෝගයට කිසිදු බලපෑමක් නොමැති වන අතරම අවසාන අධිකරණ තීන්දුවෙන් ලැබෙන ජය -පරාජය කාට වුවද වඩාත් නිරවුල් පාර්ලිමේන්තුවක්, අමාත්‍ය මණ්ඩලයක් සඳහා මාර්ගය විවුර්ත වනු ඇත.

වෙනත් විදියකින් කිවහොත් අධිකරණය ස්වකිය අභිමතානුසාරි බලය වෙනමද, විධායක ජනාධිපති ස්වකිය අභිමතානුසාරී බලය වෙනමද එකවර ක්‍රියා කළද එමගින් අදාල ආයතන දෙක අතර කිසිම ගැටුමක් පැන නොනගින අතරම අනිකුත් ආයතනය වන ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) තුල කිසිසේත් සිදු නොවිය යුතු වත්මන් පාර්ලිමේන්තුවේ ඔබ දකින විකාර රුපි සිද්ධි දාමයන් සිදු වීමට අවකාශයද සපුරා ඇන හිටිනු ඇත.

විධායක ජනපති හට පාර්ලිමේන්තුව කල්දැමීමට ඇති බලය ව්‍යවස්ථාවේ 33 (2) (ඇ ) මගින් හා/හෝ 70 වන ව්‍යවස්ථාවෙන් ඇති බව සියල්ලන්ම අවිවාදයෙන් පිළිගනු ලබයි.



එය එසේනම් "යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටද " කියා යමෙක් ඇසුවහොත් ඊට දිය හැකි පිළිතුර කුමක්ද?

No comments:

Post a Comment