Thursday 11 October 2018

ශ්‍රී ලංකා පොලීසියට ඉන්දියාවේදී කාර්මික ආරක්ෂාව පිළිබඳ පුහුණුවක්


 Lankawayn @colombo 11/oct
  තිස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පිහිටි ජාතික කාර්මික ආරක්ෂක ඇකඩමිය (NISA) විසින් පවත්වනු ලබන කාර්මික ආරක්ෂාව පිළිබඳ සවිස්තරාත්මක පුහුණු වැඩසටහනක් සඳහා සහභාගී විය. මෙම වැඩසටහන සැප්තැම්බර් මස 24 වන දින සිට 28 වනදා දක්වා පැවැත්විණ.
  1990 වසරේදී ස්ථාපනය කරන ලද, අන්තර්ජාතික වශයෙන් කීර්තියක් උසුලන ජාතික කාර්මික ආරක්ෂක ඇකඩමිය කාර්මික ආරක්ෂාව පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්‌ථානයක් ලෙස පිළිගෙන ඇත. කාර්මික හා තීරණාත්මක යටිතලපහසුකම් ආරක්ෂාව හා කළමනාකරණය, ගුවන් සේවා ආරක්ෂාව සහ ආපදා කළමණාකරණ යන කේෂ්ත්‍ර සම්බන්ධයෙන් මනා පුහුණුවක් ලත් පුද්ගලයන් බිහි කිරීම සඳහා මෙම ඇකඩමිය ප්‍රසිද්ධියක් උසුලන අතර, ඉහළ මට්ටමේ ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් සහ මනා දැනුමකින් හා කුසලතාවයන්ගෙන් සපිරි වෘත්තිකයන් බිහි කිරීම සඳහාද මෙම ආයතනය පිටිවහලක් සපයයි.
   මෙම පුහුණු වැඩසටහනට සම්පූර්ණයෙන්ම අරමුදල් සපයනු ලැබුවේ ඉන්දියානු රජය විසින් වන අතර ඒ සඳහා වැය වූ මුළු මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 5කට වැඩිවේ. මෙම වැඩ සටහන සඳහා සහභාගි වූ පොලිස් නිලධාරින් 30 දෙනා අතරට ප්‍රධාන පොලිස් පරීක්ෂක,පොලිස් පරීක්ෂක, උප පොලිස් පරීක්ෂක යන නිලයන් දරන පොලිස් නිලධාරින් ඇතුලත් විය. විෂය කේෂ්ත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ඇති ප්‍රවීණයන් විසින් පවත්වන ලද දේශනවලට අමතරව, අදාළ කේෂ්ත්‍රයේ භාවිතා කරන නවතම උපකරණ හා මෙවලම් භාවිතා කිරීම පිළිබඳ පුහුණුවක්ද මේ සඳහා සහභාගී වුවන්ට ලබා දෙන ලදී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ පියවරක් ලෙස ඉන්දියානු රජය මෙම වැඩසටහන සඳහා සහභාගී වුවන්ට සියලුම ආගන්තුක සත්කාර පහසුකම් සපයන ලදී.








සාපරාධී දර්ශන කළමනාකරණය සහ CCTV විශ්ලේෂණය,අපරාධ පරීක්ෂණ නඩු විභාගය,අධිකරණ විද්‍යාව, සයිබර් අධිකරණ විද්‍යාව, ප්‍රභූ ආරක්ෂාව හා රථවාහන කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන් රැසක්ද මුල්‍ය අපරාධ පිළිබඳ සම්මන්ත්‍රණයක්ද ඇතුළු තවත් පුහුණු වැඩසටහන් රැසක් මේ වසරේදී ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා පොලිස් බලකාය සඳහා සංවිධානය කර ඇත.

No comments:

Post a Comment