Friday 24 July 2015

එජනිස රජයක්‌ යටතේ රාජ්‍ය සේවක සම්පූර්ණ වැටුප රු.35,000ක්‌ කරනවා


එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයක්‌ යටතේ රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 25,000 ක්‌ කිරීමෙන් පසු දීමනා රුපියල් 10,000 ත් සමග සම්පූර්ණ වැටුප වශයෙන් රුපියල් 35,000 ක්‌ ලැබෙන බව ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මෙයට පැය 48 කට පෙර අග්‍රාමාත්‍ය අපේක්‍ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම පොරොන්දුව ප්‍රසිද්ධියේ ලබාදීමත් සමග රාජ්‍ය සේවකයන්ට කිසිදු සහනයක්‌ අත්කර දීමට කටයුතු නොකළ එක්‌සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එකවර හීනෙන් නැගිට රාජ්‍ය සේවක වැටුප රුපියල් 31,000 ක්‌ කරන බවට අතාර්කික ප්‍රකාශයක්‌ කරන බවද හෙතෙම සඳහන් කළේය.
විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (23 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කර 2015 මූලික වැටුපට සාපේක්‍ෂව සකස්‌ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2014 නොවැම්බර් මස ඉදිරිපත් කළ 2015 අවසන් අයවැයෙන් පොරොන්දු වූ බව පැවසූ අලහප්පෙරුම මහතා එය ඉදිරි සන්ධාන රජයක්‌ යටතේ 2015 අලුත් වැටුපට පදනම් වන ලෙස සකස්‌ කරන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් සඳහන් කළේය.


රාජ්‍ය සේවකයන්ට සන්ධාන රජය යටතේ ලබාදුන් රුපියල් 3000 දීමනාව හා රුපියල් 7000 ක දීමනාව මූලික වැටුපට එකතු කිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික ඉල්ලීම වුවත් එජාප ආණ්‌ඩුවට එම ඉල්ලීම ඉටුකිරීමට නොහැකි බව අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු වූයේ රාජ්‍ය සේවකයන් දැනට ලබන රුපියල් 11670 ක්‌ වූ අවම වැටුප රුපියල් 25,000 ක්‌ කර ජීවන වියදම් දීමනා ඇතුළු අනෙකුත් දීමනා රුපියල් 10000 ත් සමග රු. 35000 ක්‌ කරන බවට බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මෙහිදී කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ නායක ඩිව් ගුණසේකර, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

No comments:

Post a Comment