Sunday 12 July 2015

හක්‌ ගෙඩිය ගිලී දියමන්තිය මතුවීම!



පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී දැන් මාස 132 ක්‌ ගතවී ඇත. සෝම හිමියන්ගේ අපවත්වීම ගැන යළි සිහිකරන්නට සිදුවූයේ යළිත් වරක්‌ මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්කර ඇති නිසාය. 2004 මැතිවරණයේදී නම් සෝම හිමියන්ගේ හදිසි අපවත්වීම මැතිවරණ වේදිකාවේ ප්‍රමුඛ කථා බහක්‌ විය. 2004 පෙබරවාරි 17 වැනිදා ජාතික හෙළ උරුමය බිහිවූයේද සෝම හිමියන්ගේ අභාවයෙන් පසු ඇතිවූ බෞද්ධ නැගිටීම දේශපාලන ව්‍යාපාරයකට හැරවීම සඳහාය. 2004 මැතිවරණ වේදිකාවේදී ජාතික හෙළ උරුමය ප්‍රකාශ කර සිටියේ අපවත්වූ සෝම හිමියන්ගෙන් ගිලිහුණු බෞද්ධ ප්‍රබෝධයේ ධජය ඉදිරියට ගෙනයන බවය.
එවක පැවැති එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුව පරාජය වීමටත් හෙළ උරුමයේ දේශපාලන ආගමනය බෙහෙවින් බලපෑ බව ප්‍රකට කරුණකි. එජාපය ගැන කළකිරී සිටි සිංහල බෞද්ධයෝ "දිවියේ එක්‌වරක්‌ රට දැය සමය වෙනුවෙන්" කියා හක්‌ගෙඩියට සිය ඡන්දය පූජා කළහ. එනිසාම 2004 අප්‍රේල් 04 වැනිදා පැවැති මහමැතිවරණයේ දී හෙළ උරුමයට ඡන්ද 552724 ක්‌ ලැබුණු අතර එයින් භික්‍ෂුන් නවදෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රිධුර හිමිවිය. බෞද්ධයාගේ අයිතීන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පැමිණි මේ දේශපාලන ව්‍යාපාරයෙන් මෙරට බහුතරයට සාධාරණය ඉටුවීද නැද්ද යන්න ඉතිහාසය විසින් තීරණය කරනු ඇත. නමුත් ඉදිරි මහමැතිවරණයේ දී මේ පක්‍ෂයේ නිල නමත් ලාංඡනයත් වෙනස්‌වන බව පසුගිය සතියේ ප්‍රකාශ විය. ඒ අනුව ජාතික හෙළ උරුමයද දේදුනු සන්ධානයක්‌ බවට පත්ව ඇත. ජාතික හෙළ උරුමය නම් බෞද්ධ පක්‍ෂය මරණයට පත්වී එක්‌සත් යහපාලන පෙරමුණ නම් නව පක්‍ෂය බිහිවූයේ ඉකුත් සතියේ දීය. ඒ අනුව හක්‌ගෙඩිය වෙනුවට දියමන්තිය ප්‍රාතීර්භූතවී ඇත.ඇත්තෙන්ම හෙළ උරුමය දැලි පිහියෙන් කිරි කා ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහළට ඇදවැටී තිබේ. එදා 2004 දී රට දැය සමය වෙනුවෙන් හක්‌ගෙඩියට ඡන්දය දුන් අයට අද ඇතිවන හැඟීම කුමක්‌ද? මේ යහපාලනයක්‌ ගැන ඔවුන් සිහිනෙන්ද සිතන්නට නැත. නමුත් නොසිතූ දෙයම සිදුවන බව අප හොඳින් අවබෝධකර ගත යුතුය. පුරා වසර දහයකට අධික කාලයක්‌ තිස්‌සේ හෙළ උරුමය කළ දේශපාලන වික්‍රමයන්ට දැන් විරාමයක්‌ ලැබී ඇත්තේ හදිසියේම දියමන්තිය ප්‍රාතීර්භූතවීම නිසාය. එදා හක්‌ගෙඩිය පූජනීය වූ අරමුණක්‌ දිනවන්නට භාවිත කෙරිණි. අද දියමන්තිය භාවිත වන්නේ කවර අරමුණකටද? ආර්ථික ලාභයද? ආත්ම ලාභයද? එසේ නැත්නම් ඉදිරි දේශපාලන පිම්ම සඳහාද? මේ පිළිබඳ තීරණයක්‌ ගැනීමට අගෝස්‌තු 17 වන තෙක්‌ බලා සිටිය යුතුව ඇත.https://www.facebook.com/Lankawaynews?ref=hl

No comments:

Post a Comment