Saturday 25 July 2015

එජාප මැතිවරණ ප්‍රකාශය කෛරාටික උපක්‍රමයක්‌


එක්‌සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශය ජනතාවගේ මනසට කෛරාටික ලෙස සමීප වීමට ගත් උපක්‍රමයක්‌ මිස එහි වෙනත් කිසිවක්‌ නොමැති බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයකු වන වාසුදේව නානායක්‌කාර මහතා පැවසීය.
රැකියා දස ලක්‍ෂයක්‌ ඇති කරන බව කීවද එජාපය සැබවින් කළේ හැට දහසක්‌ එකවර රැකියාවලින් ඉවත් කිරීම හා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම කප්පාදු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කිරීම බවද නානායක්‌කාර මහතා කීවේය. අධ්‍යාපනයට සියයට 06 ක්‌ වෙන් කරන බව කීවත් මෙවර වෙන් කළේ සියයට 01 ක්‌ පමණක්‌ යෑයිද පැවසීය. රටේ සියලු සංවර්ධනය නවත්වා ආර්ථික දියුණුවද බිමට පතිතකර ඇති එජාපයේ මේ පංචවිධ ක්‍රම ජනතාව රවටන හිස්‌ ලියවිල්ලක්‌ පමණකැයිද වාසුදේව නානායක්‌කාර මහතා කියා සිටියේය.


වසර 5 කින් පොරොන්දු ඉටුකරන බව නොකියා මාස 60 කින් ඉටු කරන බව සඳහන් කිරීමෙන්ම මෙහි ඇති කෛරාටිකකම මැනවින් ජනතාවට තේරෙන බවද ඊයේ (24 වැනිදා) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කීය.

රටේ ආර්ථිකය බටහිරට ගැති ලෙස පෙරළියක්‌ සිදු කිරීමට දැන්ම සූදානම් වන බවත් ලිට්‍රොa ගෑස්‌ සමාගම යළිත් ෂෙල් සමාගමට දීමට සැලසුම් සකස්‌ කර ඇති බවත් ඔහු පැවසීය.

එජාපයට චම්පික රණවක හෝ රාජිත සේනාරත්න පැමිණියද එම පක්‍ෂයේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස්‌ නොවන බවද ඔවුන් අද සිටින්නේ එජාපයේ අධිරාජ්‍යවාදීන්ගේ බඩ ඇතුළේ යෑයිද කීය.

No comments:

Post a Comment