Sunday 26 July 2015

පුවත්පත් කලාවේදීන්ගේ කට වැසීම?


රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය ආධාර මත යෑපෙන පැමිණිලි කොමිෂමට ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලය මෙන් බලාත්මක කළ හැකි නීත්‍යානුකූල භාවයක්‌ නොමැති අතර රජයේ අනුග්‍රහයක්‌ ද නොමැති සංවිධානයකි.
 ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලය මාධ්‍යවේදීන්ගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීමට පිහිටවන ලද ආයතනයක්‌ මෙන්ම මාධ්‍ය නිදහස අනවශ්‍ය ලෙස භාවිතා කිරීමෙන් අගතියට පත්වන පාර්ශවයන් ආරක්‌ෂා කිරීමටද කටයුතු කරන ආයතනයකි. එමෙන්ම මෙම මණ්‌ඩලය 1973 අංක 5 දරන පාර්ලිමේන්තු පනතින් අනුමත කරන ලද නීත්‍යානුකූල ආයතනයක්‌ වන අතර එය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පිළි ගැනීමට හා ගෞරවයට පාත්‍ර වී ඇත.


ශ්‍රී ලංකාව ඉතා වටිනා, එමෙන්ම දීර්ඝ කාලයක්‌ තිස්‌සේ රැක ගන්නා ලද මාධ්‍ය සංස්‌කෘතියකින් ද සම්ප්‍රදායන් සමූහයකින් ද මාධ්‍ය ආයතන විසින් නිර්මාණය කරන ලද සම්මුතීන් රැසකින්ද සමන්විත ඉතා විශිෂ්ට ගණයේ මාධ්‍යවේදීන් පිරිසක්‌ උරුම කර ගත් රටකි. එබැවින් මාධ්‍යවේදියා සේම එයින් අගතියට පත්වන ජනතාවද ආරක්‌ෂා කිරීමේ යුතුකමක්‌ පුවත්පත් මණ්‌ඩලයට පැවරී තිබේ. මෙම දෙපාර්ශවයේම අයිතිවාසිකම් සම තත්ත්වයේ ලා සැලකීම මණ්‌ඩලයේ ප්‍රධාන අභිලාෂයයි.

එබැවින් ගෙවුනු 40 වසර තුළ පුවත්පත් මණ්‌ඩලය අපක්‌ෂපාතීව, ස්‌වාධීනව සහ දේශපාලන මතවාද සහ ප්‍රතිපත්තිවලින් නොබැඳී ඉතා සාධාරණ ප්‍රතිපත්තියක පිහිටා සිටිමින්, රාජ්‍ය බලධාරීන්ගේ බලපෑම්වලට හෝ ඔවුන්ගේ අදහස්‌වලට යටත් නොවී ක්‍රියාත්මක වූ අතර යුක්‌ති සහගතව දෙපාර්ශවය වෙත සාමය හා සාධාරණත්වය ලබා දෙමින් ස්‌වභාවික යුක්‌තිය ආරක්‌ෂා කිරීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන ලද බව ඉතා වගකීමෙන් සඳහන් කළ යුතුය.

1973 අංක 5 දරන පුවත්පත් මණ්‌ඩල පනත, පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරන ලද නීතියකි. (Sරස ඛ්බන් ඡරුss ඤමබජසක ඛදඅ) එමෙන්ම එය දිසා අධිකරණයක බලතල සහිතව බල ගැන්විය හැකි නීති සමුදායකින් සමන්විත නීති පද්ධතියකි. ජනතා ගෞරවයට පාත්‍ර වූ මහාචාර්යවරු, ආචාර්යවරු, ප්‍රවීන පුවත්පත් කලාවේදීන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් වියත් මණ්‌ඩලයකින් විසඳුම් දෙන විට එය zකැලෑ නීතියක්‌Z ලෙස හඳුන්වන්නේ නම් කිසිම නෛතික බලයක්‌ නැති පුවත්පත් පැමිණිලි කොමිෂමට අදාළ වන්නේ කවර නීතියකින් දැයි නිගමනය කිරීමට කිසිවකුටත් නොහැකිය.

දශක හතරක්‌ මුළුල්ලේ පුවත්පත් මණ්‌ඩලය සිය ප්‍රතිපත්තීන්ට අනුව සක්‍රීය වීම සිදු වුවද එය නොසලකා හැරීම තුළින් අගතියට පත්වන පාර්ශවය ආරක්‌ෂා කිරීමට ආයතනයක්‌ නොමැතිවීමෙන් මුළු මහත් සමාජයටම පිය විය නොහැකි හානියක්‌ සිදුවන බව කනගාටුවෙන් වුවද කිව යුතුව තිබේ.

හැඳින්වීම

දශක හතරක පමණ කාලයක්‌ ක්‍රියාත්මක වූ මෙම මණ්‌ඩලය මෙතෙක්‌ ඉතිහාසයේ මාධ්‍යවේදීන් දඬුකඳේ ගැසීම, සිරගත කිරීමක්‌ සිදු කොට නොමැති බව නැවත නැවතත් සිහිපත් කරන අතර පුවත්පත සහ පාඨකයා යන දෙපාර්ශවයම ආරක්‌ෂා කිරීමට නීතිමය ආයතනයක්‌ නොමැති වුවහොත් සිදු වන්නේ එය සාපරාධී අපහාස නීතිය නැවත කැඳවා ගැනීමට මාවතක්‌ සෑදීමය.

මාධ්‍ය කලාව ආරක්‌ෂා කිරීම සඳහා මාධ්‍ය ආයතන ඒකාබද්ධ කොට සංවිධානයක්‌ පිහිටුවා නිලධාරීන් පත් කොට එය විධිමත් කරන ලද්දේ පුවත්පත් මණ්‌ඩලය විසිනි. එහෙත් පටු න්‍යාය පත්‍රයන් හමුවේ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවල, විශේෂයෙන්ම විදේශ මුදල්වලින් හා එම මුදල් සමඟ ගලා එන විදේශීය සූක්‌ෂම න්‍යාය පත්‍රයන්ට යටත් වී කටයුතු කරනු ලබන මූල්‍යමය ප්‍රතිලාභයන් පමණක්‌ අරමුණු කර ගත් ක්‍රමෝපායන් හා මතදැක්‌වීම් හමුවේ මෙම මණ්‌ඩලය නොසැලී සිටින්නේ, ස්‌වාධීනව තීරණ ගනු ලබන මානව වාදී ජනතා අභිලාෂයන් මුදුන් පත් කරන මධ්‍යස්‌ථ මතයක පිහිටා කටයුතු කරන ආයතනයක්‌ නිසාය.

ආධුනික මාධ්‍යවේදීන් පුහුණු කිරීම, මාධ්‍ය ලෝකයට ප්‍රවේශවීම සඳහා මඟ පෙන්වා දීම, ඔවුන් අගය කිරීම, කාලීන පර්යේෂණ කටයුතුවල නියෑලීම, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල හා පාසල් සිසුන් වෙනුවෙන් වැදගත් ප්‍රකාශන නිකුත් කිරිම, ඩිප්ලෝමා හා විවිධ වැඩමුළු මෙහෙයවීම, යුක්‌තිය පසිඳලීමට අමතරව පුවත්පත් මණ්‌ඩලය කරන කාලීන මෙහෙවරයන් වේ. ජාත්‍යන්තර සබඳතා තුළින් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමටත් අධ්‍යාපන හා සමාජ සම්බන්ධතා පුළුල් කිරීමටත් පුවත්පත් මණ්‌ඩලය මඟින් ඉදිරියේ දී අපේක්‌ෂා කරනු ඇත. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් මණ්‌ඩලය අපේක්‌ෂා කරනුයේ ආචාර ධර්ම ගරු කරමින් මානව වාදී ගති ලක්‌ෂණ පිළිබිඹු කරන යහපත් මාධ්‍ය සංස්‌කෘතියක්‌ හා මාධ්‍යවේදීන් පිරිසක්‌ මෙරට තුළ බිහි කිරීම හා ඔවුන්ගේ දැනුම හා කුසලතා දියුණු කරමින් නියාමනයේ ඇති අවශ්‍යතාවය ස්‌වයං වාරණය තුළින් සමාජයෙන් තුරන් කිරීමය. නමුත් එය දීර්ඝ කාලීනව අඛණ්‌ඩව ක්‍රියාත්මක කළ යුතු යාන්ත්‍රණයක්‌ බැවින් ඊට කාලය අවශ්‍ය වේ. එබැවින් යහපත් මාධ්‍ය සංස්‌කෘතියක්‌ ගොඩ නැංවීම සඳහා මෙම මණ්‌ඩලයෙන් මාධ්‍යවේදීන් වෙනුවෙන් සිදු කරන ලද මෙහෙය ලඝූ කොට දැක්‌විය නොහැක.

මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වූ පරිදි මෙතෙක්‌ පුවත්පත් මණ්‌ඩලය විසින් කිසිම මාධ්‍යවේදියකු සිරගත කොට නැත. අසාධාරණ දඬුවම් දී නැත. යුක්‌තිය ලබා ගැනීමට අධික මිලක්‌ ගෙවිය යුතු බව සත්‍යයක්‌ වුවද පුවත්පත් මණ්‌ඩලය රජයේ වියදමින් දෙපාර්ශවය ආරක්‌ෂා කරමින් වටිනා මෙහෙවරක යෙදී සිටිනු ඇත. එබැවින් මාධ්‍යවේදීන් සිරගත කිරීම හෝ දැඩි දඬුවම් පැනවීම යෑයි සඳහන් කිරීම අසත්‍යයකි.

පුවත්පත් වාර්තාවක්‌ මඟින් අපහසුතාවයට ලක්‌වන පුද්ගලයෙකුට සහනයක්‌ ලබා ගැනීමට ඇති අධිකරණමය ක්‍රියාදාමය දීර්ඝ කාලීන එකක්‌ වන අතරම ඒ සඳහා අධික මුදලක්‌ද වැය වේ. එවැනි ක්‍රියාදාමයකට යොමු විය හැක්‌කේ ඉහළ ධනේශ්වර කොටසකට පමණි. එසේම නඩු මගට යොමු වී වන්දි හිමි කර ගන්නේ සාමාන්‍ය ජනතාව නොව ධන කුවේර ව්‍යාපාරිකයින් හා දේශපාලනඥයන්මය. එබැවින් අපහසුතාවයට පත්වන අසරණ සාමාන්‍ය මහජනතාව සඳහා පුවත්පත් මණ්‌ඩලය සාධාරණය සැලසීමට ඉදිරිපත් වී ක්‍රියාත්මක වීම නැවැත්වීමට උත්සාහ කරනු ලබන්නේ ප්‍රතිපත්තිමය එකඟතාවයක්‌ නිසා නොවන හුදු එක්‌ කණ්‌ඩායමකගේ පටු අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම සඳහා වේ. එයින්a කිසිදු ආකාරයක ජනතා අභිලාෂයන් මුදුන් පත් කිරීමක්‌ සිදු නොවන බව යළි යළිත් තහවුරු කර ඇත. එබැවින් ඔවුන් හඬ නගන්නේ 2002 වසරේදී ප්‍රතිපත්තිමය වශයෙන් අහෝසි කළ මෙම මණ්‌ඩලය නැවත නැවතත් අහෝසි කළ යුතුය යන හේතු විරහිත රාවයයි. එබැවින් පුවත්පත් මණ්‌ඩලය විවේචන හා සංවාද සතුටින් භාර ගන්නා බව සඳහන් කළ යුතුය.

No comments:

Post a Comment