Saturday 18 July 2015

මහින්දට ජීවිත තර්ජනයක් ?

හිටිහැටියේ එන්ජීඕවකට කෝටි 17කුත් එයි





වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊළම හෙවත් බෙදුම්වාදයේ ගණිකා මඩුවෙන් දේශපාලනය අරඹා දැන් ඉණිමඟට පයින් ගසන න්‍යායක සිට "අපි පිරිසිදුයි" කියන අන්දමින් පති දම් රකින්නට සැරසෙන ඊනියා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති හමුවේ මේ වන විට උතුරේ දේශපාලනය තුළ සිදුවෙමින් තිබෙන දේ බොහෝය.




ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන ශිවාජිලිංගම්

ඒ අතරින් එක්‌ ප්‍රබලම සිදු වීමක්‌ වූයේ දෙමළ ජාතික සන්ධානයෙන් ප්‍රතික්‍ෂේප වීම හේතුවෙන් හිටපු කොටි කණ්‌ඩායමක්‌ "ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්" යෑයි පවසමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටීමය.
දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේයෑයි කීවද දෙමළ ජනතාවගේ සැබෑ වුවමනාවන් වෙනුවෙන් ඔවුන් මෙතෙක්‌ කිසිවක්‌ම සිදු කර නොමැති බව කියමින් හිටපු කොටි රැළ හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇත.


මෙකී ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන් යෑයි කියන නාමයේම ඇත්තේ පැහැදිලි ගන්ධබ්බභාවයකි. මන්ද දෙමළ ජාතික සන්ධානයට ආඩපාලි කියමින් මෙසේ තරග බිමට පිවිස සිටිනුයේ හිටපු කොටි රැළක්‌ බව පැහැදිලි වුවද ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීන්ද සටන්කාමීන්ද යන්න එම පක්‍ෂ නාමයෙන් තහවුරු නොවන බැවිනි.

එය එලොවටත් නැති මෙලොවටත් නැති කියමනකි. නමුත් අපේ රතු මල්ලිලා පවසන පරිදි මේ මොහොතේ රට තුළ ක්‍රියාත්මක වෛරය මත පදනම්වූ මජර දේශපාලනය හමුවේ ජනතාවද සිටිනුයේ ගන්ධබ්බයන් වී බැවින් කොටි මෙසේ ඉර පැන්නද ඒ ගැන සිතන්නට කිසිවකුටත් නොහැකිව තිබේ.

බෙදුම්වාදයට මල් පුදන වත්මන් ඊනියා සහජීවනය සහ සන්හිඳියාව ඉදිරියේ ඒ ගැන කතා කරන්නට ගියහොත් ජාතිවාදී ලේබල් ඇලවී රාජ උදහසට ලක්‌විය හැකි බැවින් සියල්ලෝ නිහඬවම සිටිති.

මේ මොහොතේ උතුරෙන් මතුව ඇති දෙමළ ජාතික සන්ධානයට එරෙහි කොටි විරෝධයේ තත්ත්වය එසේ වෙද්දී තවත් කණ්‌ඩායමක්‌ද පෙරට පැමිණ සිටිති. ඒ ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික පෙරමුණ වේ.

ඔවුන්ගේද මතය වී තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයට අද මඟ වැරදි තිබෙන බවකි. දෙමළ ජනතා අභිලාසයන් පසෙක තබා අද දවසේ දෙමළ ජාතික සන්ධානය වෙනත් ගමනක්‌ යමින් සිටින බවට ඔවුහුද චෝදනා කරති.

මේ සියල්ලෙන් පැහැදිලි වන එකම කරුණ වන්නේ අද මෙරට දෙමළ දේශපාලනයේ පැහැදිලි බේදීමක්‌ ඇති වී තිබෙන බවය. නමුත් සුවිශේෂීම තත්ත්වය වී තිබෙන්නේ ඔවුන් අතරේ බෙදීමක්‌ තිබුණද මේ සියලු කණ්‌ඩායම් බෙදුම්වාදය වෙනුවෙන්ම පෙනී සිටීමය.

වර්තමානයේ මෙරට දෙමළ දේශපාලනයේ (විශේෂයෙන් උතුර නැගෙනහිර) සැබෑ තත්ත්වය එසේ වෙද්දී පසුගියදා තවත් අපූරු දෙයක්‌ද සිදු විය. ඒ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් දාහත් දෙනකුගේ යුතු උතුරේ කල්ලියක්‌ද සමග පැමිණ මෙවර මැතිවරණය සඳහා ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් තරග කිරීමට ඉදිරිපත් වීමය.

උතුරේ දේශපාලනය මතගැටුමක්‌ සමඟ උණුසුම් වී ප්‍රභාකරන්ගේ සහචරයන් ප්‍රභාකරන්ටම කඩේ ගිය දෙමළ ජාතික සන්ධානයෙන් ප්‍රතික්‍ෂෙප වෙද්දී ප්‍රභාකරන්ගේ මස්‌සිනා මෙසේ සියල්ල පසෙක දමා දකුණට පැමිණ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූයේ කුමක්‌ නිසාද?

"අපේ ජාතියේ සතුරා මහින්ද රාජපක්‍ෂ. අප ඔහුට අභියෝගයක්‌ විය යුතුයි. මෙවර මැතිවරණයට මහින්ද පැමිණෙන එකට විරෝධය දැක්‌වීමක්‌ වශයෙනුයි අප කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් තරග කරන්නට තීරණය කළේ. මහින්ද සාධකය පරාජය කළ යුතුයි. ජාති ඝාතනයට එරෙහි විය යුතුයි.."

කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව ෂිවාජිලිංගම් සිය අරමුණ පැහැදිලි කරනුයේ එලෙසිනි. ඔහු මෙහිදී අපේ ජාතිය යෑයි කියනුයේ දෙමළ ජාතියටය. ජාති ඝාතනය ලෙස අර්ථ දක්‌වනුයේ ත්‍රස්‌තවාදය අවසන් කිරීම බවද පැහැදිලිය.

මහ යකා මකබෑ කළ කෝපයෙන් වියරුව ඔඩ්ඩි මස්‌සිනාලා යකැදුරාගේ ගෙල මිරිකන්නට සැරසෙන අන්දමට අද සියල්ල සිදු වෙමින් තිබෙන්නේ එසේය. එහෙත් ෂිවාජිලිංගම්ලාට මෙසේ කුරුණෑගලට පැමිණ මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කිරීමට තරම් අවස්‌ථාවක්‌ හිමිව තිබෙන්නේ කුමක්‌ නිසාද?

ඊට අදාළ එකම සාධකය වන්නේ ප්‍රභාකරන්ගේ අවසානය කඩිනම් කළ මහින්දගේ දේශපාලන නායකත්වය ය. එය එසේ සිදු නොවූයේ නම් ෂිවාජිලිංගම් තවමත් සිටිනුයේ ඊළාම් සිහිනය දකින අතරේ තමන්ගේ ජාතිය බිල්ලට දෙමින් ප්‍රභාකරන්ට ආවැඩූ තැනය. එසේම ඔහු සමග කුරුණෑගලින් තරග කරන්නට පැමිණි ඇතැමුන් මේ මොහොතේ සයනයිඩ් කරල ගෙල පැළඳ ප්‍රභාකරන්ගේ සිහිනය වෙනුවෙන් කොටි බංකරයක ජීවිතය දිය කරනවා විය යුතුය.

මහින්දට අභියෝග කරන්නට යෑයි කියමින් මෙසේ කුරුණෑගලින් ඡන්දයට පැමිණියද ෂිවාජිලිංගම් ඇතුළු නඩයට කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය තුළ කිසිදු ඡන්ද පදනමක්‌ද නැත. ඔහුට කිසියම් පුද්ගල මනාපයක්‌ වේ නම් එය ඇත්තේ කිලිනොච්චිය හා මුලතිව්වලය.

ඉකුත් මැයි මාසයේදී ප්‍රභාකරන් මළ දිනය සිහි කරමින් අවසන් සටන සිදුවූ මුල්ලවයික්‌කාල් බිමේදී මියගිය කොටි සිහිකරමින් ෂිවාජිලිංගම්ලා පහන් දැල්වූයේ හිතේ දුකට පමණක්‌ නොව වෙනත් අරමුණක්‌ ද ඇතිවය. මියගිය කොටින්ගේ මළ මිනී තුළින් උතුරේ දෙමළ ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම එකී යටි අරමුණ විය.

ෂිවාජිලිංගම්ලා කළ මළවුන් සැමරුමේදී එයට දේශපාලන මුහුණවරක්‌ ලැබී දෙමළ දේශපාලනය පෙරට පැමිණියේ එනිසාය. එසේ නම් දෙමළ ජාතික සන්ධානයෙන් එල්ල වන ප්‍රතික්‍ෂේපයද නොසලකා මුලතිව් කිලිනොච්චිහි පවතින පුංචි මනාපයද අතහැර ඔහු ඇතුළු පිරිස කුරුණෑගලට පැමිණියේ කුමක්‌ අරබයාද?

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය තුළ ඡන්ද පදනමක්‌ නොමැතිව ඡන්දයට ඉදිරිපත් වූ පමණින් ෂිවාජිලිංගම්ලාට රාජපක්‍ෂ සාධකයට අභියෝගයක්‌ වන්නට හෝ විරෝධය පාන්නටද නොහැකිය. එසේම ඡන්දය ඉල්ලන්නට කුරුණෑගලට පැමිණ මහින්ද විරෝධී බෝඩ් අල්ලාගෙන මහමඟ උද්ඝෝෂණ කරන්නටද අවස්‌ථාවක්‌ නැත.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ගෙන් ගෙට ගොස්‌ මහින්දට ඡන්දය දෙන්නට එපා යෑයි කීමටද ෂිවාජිලිංගම්ලාට ඉඩක්‌ නොලැබෙන්නේය. මන්ද තිස්‌ වසරක ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයේදී මේ බිමේ නිදහස වෙනුවෙන් ජීවිත වැඩිම ප්‍රමාණයක්‌ පූජා කර ඇත්තේ ඇතුගල් පුරවරයේ මාපියන්ගේ සුජාත පුත්‍රයන් වන බැවිනි.

එකී තත්ත්වය හමුවේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ ෂිවාජිලිංගම් කුරුණෑගලට ගොස්‌ ඡන්දය ඉල්ලන්නට ගෙවල් ගානේ ගියහොත් ඇතිවිය හැකි තත්ත්වය අමුතුවෙන් පැහැදිලි කළ යුතුද නැත.

එසේ නම් දැනුදු ප්‍රභාකරන් දුටු බෙදුම්වාදී සිහිනයේ සිරවී සිටින ෂිවාජිලිංගම් ඇතුළු හිටපු කොටි ත්‍රස්‌තවාදීන්ද ඇතුළත් මෙකී නඩය කුරුණෑගලට පැමිණ මහින්ද විරෝධී බාධකයක්‌ ගොඩනගනුයේ කෙසේද?

පැහැදිලිවම මේ මොහොතේ රටම සිටිනුයේ වත්මන් මැතිවරණ උණුසුම පිළිබඳ දැඩි අවධානය යොමු කරය. දේශපාලනයේ සිදුවන හැලහැප්පිලි, කියුම් කෙරුම් කෙරෙහි සමස්‌ත ජනතාවම දක්‌වනුයේ විශාල උනන්දුවකි. ඒ අතරේ මෙවර මැතිවරණයේ සියලු ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්හි ප්‍රහාරක ඉලක්‌කය වී සිටින්නේ මහින්දය. කෙටියෙන් කිවහොත් මේ මැතිවරණයේ මහා පොදු සාධකය මහින්දය.

එවන් තත්ත්වයක්‌ තුළ දෙමළ ජාතික සන්ධානයෙන් සිදු වන කෙනහිලිකම්ද ඇතුළුව අමතක නොකළ යුතු සියල්ල අමතක කර ප්‍රභාකරන්ගේ මස්‌සිනා ඇතුළු හිටපු කොටි ත්‍රස්‌තයන්ද සහිත කණ්‌ඩායමක්‌ කිසිදු පදනමක්‌ නොමැතිව හුදු වෛරය පමණක්‌ පෙරදැරිව හිටපු ජනාධිපතිවරයා තරග කරන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටිනුයේ අද දවසේ මහින්දට අදාළ බව කියන ජීවිත අවදානම පිළිබඳ පෙරනිමිති පාන්නටද?

මේ මොහොතේ මැතිවරණයේ උණුසුම කොතෙක්‌ වුවද පැළඳ සිටින පාට කණ්‌ණාඩි පසෙක තබා ඒ පිළිබඳ කල්පනා කිරීමට සියලු දෙනාට සිහි බුද්ධිය තිබිය යුතුය. මන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේවා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වේවා මේ සියලුම දෙනා අපේ ජාතික නායකත්වය වන නිසාය.

ෂිවාජිලිංගම්ලාගේ කුරුණෑගලාගමනය එසේ වෙද්දී ඉකුත් සතියේ මෙරට දේශපාලනය අරබයා සිදු වූ තවත් විශේෂිත සිදුවීමක්‌ද විය. ඒ මේ රටේ ඡන්දදායකයන් වෙනුවෙන් හිටි හැටියේම යුරෝපා සංගමයට කිරි එරී තිබීමය.

එසේ එරුණු කිරෙන් තන බුරුලු බරවී තිබූ යුරෝපා සංගමය අවසානයේ ඉකුත් සතියේ ඡන්දය දීම පිළිබඳ මේ රටේ අහිංසක ජනතාව දැනුවත් කරන්නට යෑයි පවසා රුපියල් කෝටි දාහතාමාරක අති විශාල මුදලක්‌ මෙරට එක්‌තරා එන්ජීඕ සංවිධානයකට පොම්ප කරනු ලැබුවේ ප්‍රසිද්ධියේමය.

ඒ අදාළ එන්ජීඕ සංවිධානය සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුව විය. කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමග ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර් නැෂනල් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වන ශාන් විඡේතුංග මහතා අප අමතා කියා සිටියේ යුරෝපා සංගමය මගින් අදාළ මුදල ලබා දුන්නේ තම සංවිධානයට වන බවකි.

එකී මුදලින් කැෙµa සංවිධානයේ සහ පැපරල් සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු සඳහා මුදල් වෙන් කෙරී තිබෙන බවද සඳහන් කළ හෙතෙම යුරෝපා සංගමය ලබා දුන් මුදල් යොදවා මෙවර මැතිවරණය ඉලක්‌ක කර කිසිදු කටයුත්තක්‌ සිදු නොකරන අතර මැතිවරණයෙන් පසුව ඉදිරියේදී මාධ්‍ය වැඩමුළු පැවත්වීම, ජනතාව දැනුවත් කිරීම ආදී දේ සඳහා එම මුදල් වැය කිරීමට නියමිත බවද කියා සිටියේය.

නමුත් ශ්‍රී ලංකාවේ මැතිවරණයක්‌ කටේ තිබියදී යුරෝපා සංගමය මෙසේ කැටේ කඩා ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වෙත මුදල් එවීමත් සමඟ ඇතැම් මාධ්‍ය හෙළි කර තිබුණේ එම මුදලින් මෙවර මැතිවරණයේදී කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය ඉලක්‌ක කර වැඩසටහන් කිහිපයක්‌ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවකි.

මෙම මුදල් ලැබුණේ මැතිවරණයෙන් පසුව ජනතාව දැනුවත් කිරීම ඇතුළු කටයුතු සඳහා නම් මැතිවරණය නිමා වන තෙක්‌ සිට එම මුදල් ලබා දීමේ අවස්‌ථාවද යුරෝපා සංගමයට තිබිණි. නමුත් එය එසේ සිදු නොවීය. එකී මුදල් තොගය ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් වෙත එන්නේ මැතිවරණය ප්‍රකාශ වී තිබියදීය.

එහෙයින් යුරෝපා සංගමය මෙසේ ශ්‍රී ලංකාවට මුදල් තොගයක්‌ පොම්ප කිරීමේ ගැටලුවක්‌ නොවන්නේ යෑයි කීමට අපට නොහැකිය. මන්ද මේ රට පිළිබඳ කතා කිරීමේදී යුරෝපා සංගමයට ඇති තරම් පෙර වැරදි තිබෙන බව නොදන්නා කෙනකු නොමැති නිසාය.

කෙසේ වෙතත් මේ සියලු සිදුවීම් ගෙන බැලීමේදී මේ මොහොතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දිස්‌ත්‍රික්‌කය බවට පත්ව තිබෙන බව නම් ඉතා පැහැදිලි වන්නේය. ජාත්‍යන්තර ප්‍රජාවගේ සිට සියලු දෙනාගේ ආකර්ෂණය ඇත්තේ කුරුණෑගලටය.

ඒ ඇතුගල නිසාද? නැත මහින්ද නිසාය. ඒ අනුව බලන කල යුරෝපා සංගමය අපට ඡන්දය දෙන හැටි කියා දෙන්නට යෑයි පවසමින් මේ ආකාරයෙන් මුදල් එවීමේ වරදක්‌ද නැත. එසේ වන්නේ වත්මන් මොන්ටිසෝරි දේශපාලනය හමුවේ අප මැට්‌ටන් යෑයි සුද්දන්ට හැඟී යැමේ අරුමයක්‌ නැති නිසාය.

No comments:

Post a Comment