Sunday 26 July 2015

බොරු යුද අපරාධ පෙත්සමට මුවාවී 840 ක්‌ දේශපාලන රැකවරණ ඉල්ලති



මෙරට ජනතාව මැතිවරණය දෙස යොමු වී තිබියදී ප්‍රභාකරන්ගේ නීති උපදේශක ලෙස කටයුතු කළ විශ්වනාදන් රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ රජයත් හමුදාවත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ගෙන යැම සඳහා අත්සන් දස ලක්‍ෂයක්‌ ලබා ගැනීමේ මෙහෙයුම ව්‍යාප්ත කර ඇත. මෙලෙස අත්සන් ලබා ගන්නේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව පෙත්සමක්‌ ගොනු කිරීමටයි.

එහෙත් මේ පෙත්සමේ විශාල ලෙස ඇත්තේ හොර අත්සන් යෑයි අනාවරණය වී ඇත.

පසුගිය ජුලි 16 වැනිදා වනවිට රුද්‍රකුමාරන්ගේ රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමින් අටවාගෙන තිබූ හොර සංවිධානය රටවල් 11 කින් අත්සන් 1170033 ක්‌ ලැබී තිsබූ බව නිවේදනය කරනු ලැබීය. ඉන්දියාවෙන් 699281 ක්‌ ද, ශ්‍රී ලංකාවෙන් 91687 ක්‌ ද, මැලේසියාවෙන් 61148 ක්‌ ද, බ්‍රිතාන්‍යයෙන් 57566 ක්‌ද, ප්‍රංශයෙන් 37945 ක්‌ ද, කැනඩාවෙන් 32251 ක්‌ද, ඔස්‌ටේ්‍රලියාවෙන් 32156 ක්‌ද, සිංගප්පූරුවෙන් 19217 ක්‌ ද ජර්මනියෙන් 15181 ක්‌ ද ඇමරිකාවෙන් 18269 ක්‌ ද, එමීර් රාජ්‍යයෙන් 9171 ක්‌ ද එකී පෙත්සමට අත්සන් කර තිබූ බව තවදුරටත් වාර්තා විය.

මෙම පෙත්සමේ මෙලෙස දක්‌වා තිබුණි.

එක්‌සත් ජාතීන් වෙත කෙරෙන හදිසි ආයාචනයයි

"ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කරන්න.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව යුද අපරාධ සහ වර්ග සංහාරයේ යෙදුණු අපරාධකරුවන් හා අපරාධ සම්බන්ධව චූදිතයන්ට දඬුවම් දීම සඳහා ක්‍රියාකරන ලෙසත් ඊට සාධක වන කරුණු කෙරේ අවධානයට යොමු කරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු".

භාෂා පහළොවකින් මෙම පෙත්සම සකස්‌ කර ඇති අතර ප්‍රධාන සාක්‍ෂිකරුවන් ලෙස දක්‌වා ඇත්තේ පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් සහ මෙරට හිටපු ඇමරිකානු තානාපතිනි පැට්‌්‍රෂියා බුටේනිස්‌ ය.

විග්නේශ්වරන් විසින් පසුගියදා උතුරු පළාත් සභාවේදී සම්මත කළ වර්ග සංහාර යෝජනාව පෙත්සමට සාක්‍ෂියක්‌ ලෙස දක්‌වා ඇත. එසේම යුද හමුදා සහ දේශපාලන නායකයන් 12 කගේ නම් දැක්‌වෙන ලැයිස්‌තුවක්‌ ද එකී පෙත්සමට ගොනු කර තිබේ. එකී ලැයිස්‌තුවේ ශවේන්ද්‍ර සිල්වා - ජගත් ඩයස්‌, නන්දන උඩවත්ත, කමල් ගුණරත්න ජී. ඒ. චන්ද්‍රසිරි, µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා සහ හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ සහ වසන්ත කරන්නාගොඩ යන නිලධාරීන්ගේ නම් සඳහන් කර ඇත. මෙහිදී කොටි සංවිධානය පරාජය කිරීම සඳහා වන්නි මෙහෙයුමක්‌ දියත් වීමේ සිද්ධිය වසන් කර ඊට වර්ග සංහාරය යන නම යොදා තිබේ.

පෙත්සමේ සිංහල පිටපතේ උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් සම්මත කළ වර්ග සංහාර යෝජනාව ගැන සඳහන් කර නැති අතර එය ඉංගී්‍රසි පිටපතට ඇතුළත් කර ඇත.

මෙලෙස ජාති ඝාතනයක්‌ හෙවත් වර්ග සංහාරයක්‌ දියත් වූ බව දක්‌වමින් රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පෙත්සමක්‌ යොමු කළේ සර්බියාවට එරෙහිව බ්‍රිතාන්‍ය විසින් යුද අපරාධ චෝදනාවක්‌ ගොනු කිරීමට ක්‍රියා කළ අවස්‌ථාවේය.

සර්බියාවේ සෙබ්‍රනිකාහි වර්ග සංහාරයක්‌ සිදුවූ අයුරින් මුල්ලිවයික්‌කාල්හි වර්ග සංහාරයක්‌ සිදුවූ බව ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීම "රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ" ඉලක්‌කය වී ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා කොටි ක්‍රියාකාරීන් දියත් කළ මෙහෙයුම සඳහා ඇමරිකානු විද්‍යාත්මක ආයතනයේ චන්ද්‍රිකා මගින් සොයාගෙන ඇත්තේ සුසාන භූමි තුනක්‌ පමණකි. මේ සුසාන භූමිවලින් එකක්‌ කොටි සුසාන භූමියක්‌ යෑයි හෙළි විය.

එහෙත් පෙත්සමේ දැක්‌වෙන්නේ ලක්‍ෂ 3 ත් 4 ත් අතර සිවිල් වැසියන් සංහාරය වූ බවයි. මේ සිවිල් වැසියන් කවුද? ඔවුන් පදිංචිව සිටියේ කුමන ස්‌ථානයකද සහ ඔවුන්ගේ ඥතීන් කවුද යෑයි අනාවරණය කිරීමට රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුවට සහ ද්‍රවිඩ සන්ධානයට නොහැකි වී ඇත. එසේ වුවත් ශ්‍රී ලංකාවේ දෙමළ සංහාරයක්‌ වූ බව දක්‌වමින් යුරෝපා පාර්ලිමේන්තු සංකීර්ණයේ ද උද්ඝෝෂණයක්‌ පවත්වා තිබේ. ජර්මනියේ ස්‌ට්‍රාස්‌aබර්ග් නගරාධිපති ඇතුළු කොටි ක්‍රියාකාරීන් පැවැත්වූ මෙම විරෝධතාවයෙන් පසු යුරෝපා පාර්ලිමේන්තුවට ඉල්ලීම් පහක්‌ ඇතුළත් සංදේශයක්‌ භාරදී ඇත. මෙම ඉල්ලීම් මෙසේයි. උතුරින් සිංහල හමුදාව ඉවත් කරනු. ස්‌වයංපාලන අයිතිය ලබා දෙනු. කොටි සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කරනු. එක්‌සත් ජාතීන්ගේ නිරීක්‍ෂණය යටතේ උතුර නැගෙනහිරට ජනමත විචාරණයක්‌ පවත්වනු.

මේ අන්දමට ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී හමුදාවට එරෙහිව යුද අපරාධකරුවකු වන රුද්‍රකුමාරන් සමග එක්‌වී යුද අපරාධ චෝදනා නඟන රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ උපදේශකයන් අතර හිටපු ඇමරිකානු නීතිපතිවරයකු වූ රැම්සේ ක්‌ලාක්‌ ද වේ.

රැම්සේ ක්‌ලාක්‌ සමඟ එක්‌වී රුද්‍රකුමාරන් හොර අත්සන්වලින් යුත් පෙත්සමින් ඉල්ලන්නේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශන මණ්‌ඩලයක්‌ හෝ අපරාධ පරීක්‍ෂණයට යොමු කරන ලෙසයි.

මේ ඉල්ලීමට කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත මන්ත්‍රී පැටි්‍රක්‌ බ්‍රවුන් ද එක්‌ වී ඇත. මේ වසරේÊමැයි මස කැනඩා පාර්ලිමේන්තුව ඇමතූ පැටි්‍රක්‌ බ්‍රවුන් වන්නි මෙහෙයුමේ අවසන් සමයේදී 70000 ක්‌ ඝාතනය වී ඇති බව පවසා තිබුණි. එහෙත් පෙත්සමේ දැක්‌වෙන්නේ හාර ලක්‍ෂයක්‌ සිවිල් වැසියන් ඝාතනය වූ බවයි. මෙම පසුබිම මැද උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ලන්ඩන් නුවර පැවැති ද්‍රවිඩ සංස්‌කෘතික උත්සවයක්‌ අමතමින් දෙමළ ජනතාවට ස්‌ථිර විසඳුමක්‌ ලබා දියයුත්තේ තිම්පු සම්මුතිය හෙවත් තිම්පු ප්‍රකාශනය මත යෑයි කියා සිටියේය.

විග්නේශ්වරන් ලන්ඩන් නුවරදී කළ දේශනයේ මෙලෙස සඳහන් විය.

තිස්‌සමහාරාමයේ කුඹුරුවලින් අඩක්‌ වගා කළේ ද්‍රවිඩ ජනතාවයි. එම කුඹුරුවලින් ද ද්‍රවිඩ ජනතාව පැන්නුවා යෑයි ඔහු සඳහන් කළේය.

විග්නේශ්වරන් ඉල්ලන මේ තිම්පු සම්මුතිය කුමක්‌ද?

ඒ 1985 ජුලි 13 දා භූතානයේ තිම්පු නුවර දී ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්‌ඩායම වෙත ද්‍රවිඩ නියෝජිත කණ්‌ඩායම ඉදිරිපත් කළ කරුණු හතරයි. ද්‍රවිඩ ජනතාව ජාතියක්‌ ලෙස පිළිගැනීම, ද්‍රවිඩ නිජබිම පිළිගත යුතුය. ස්‌වයංපාලනය පිළිගැනීම සහ ද්‍රවිඩ ජනතාවට සියලු හිමිකම් ලබාදීම එකී කරුණු වේ.

මේ කරුණු ඉදිරිපත් වූයේ යුද්ධය නතර කිරීමේ අරමුණෙනි. එහෙත් වන්නි මෙහෙයුමින් කොටි පරාජය වී ඇතත් විග්නේශ්වරන් වසර 30 කට පසු තිම්පු ඉල්ලීම් ලබාගැනීමට උත්සාහ කර ඇත.

2015 ජුලි 19 දා විග්නේශ්වරන් මෙම තිම්පු ඉල්ලීම් ඉදිරිපත් කිරීම මෙරට ජනතාවට සරදම් කිරීමක්‌ නොවේද?

එසේම විග්නේශ්වරන් උත්සාහ කරන්නේ 1985 ඉන්දීය රජය මෙරට කටයුතුවලට මැදිහත් වූ අයුරින් මෙවරද එකී ක්‍රමෝපාය අත්හදා බැලීමටයි.

මේ අතර 2015 වසරේ ජනවාරි සිට ජුනි දක්‌වා කාලය තුළ ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 840 ක්‌ ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා ඇත.

2014 වසරේදී ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 364 කට දේශපාලන රැකවරණ ලබාදීමට ස්‌විස්‌ රජය ක්‍රියා කළේය. ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ පැතූවන්ගෙන් සියයට 54.7 කගේ ඉල්ලීම ස්‌විස්‌ බලධාරීන් පිළිගෙන ඇත. එහෙත් මේ ද්‍රවිඩයන් කවුදැයි යන්න රජය හෙළි කර නැත. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ඇමරිකානු රජය මේ වසරේ ජනවාරි මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල ප්‍රගතියක්‌ ඇති බව ප්‍රකාශ කර තිබියදී ද්‍රවිඩයන් 840 ක්‌ ශ්‍රී ලංකාවෙන් පැන ගියේ මන්ද යන්නයි. 2014 දී මරණීය තර්ජනය එල්ලවන බව දක්‌වමින් ද්‍රවිඩයන් ස්‌විස්‌ටර්ලන්තයට පැන ගොස්‌ තිබේ. එහෙත් මේ වසරේ මුල් මාස 6 තුළ ද්‍රවිඩයන් 840 ක්‌ ස්‌විස්‌ රජයෙන් දේශපාලන රැකවරණය පැතීමෙන් සනාථ වන්නේ ද්‍රවිඩයන් ශ්‍රී ලංකාවෙන් පිට වන්නේ ව්‍යාජ අරමුණු මත බවයි.

ජිනීවා ආරංචි මාර්ග දක්‌වන අන්දමට මෙලෙස දේශපාලන රැකවරණ ලැබූවන්ගෙන් වැඩිදෙනා හිටපුq කොටි ක්‍රියාකාරීන්ය.

මේ අතර විශ්වනාදන් රුද්‍රකුමාරන්ගේ අත්සන් දස ලක්‍ෂයේ පෙත්සමේ ශ්‍රී ලංකා ඒජන්තවරයා ප්‍රභාකරන්ගේ ඥතියකු වූ එම්. කේ. සිවාජිලිංගම් යෑයි හෙළි විය. යාපනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ ඇමතූ සිවාජිලිංගම් ශ්‍රී ලංකා හමුදාව 100000 කට අධික ද්‍රවිඩ ජනතාවක්‌ ඝාතනය කළ බවට සාවද්‍ය චෝදනාවක්‌ නඟමින් හමුදා සහ දේශපාලන නායකයන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ගෙන යැම සඳහා එකී පෙත්සමට අත්සන් කරන ලෙස ද්‍රවිඩ ඩයස්‌පෝරාවෙන් ඉල්ලා ඇත. මේ පසුබිම මැද තමිල්නාඩුවේ මදුරෙයි සිට රාමන්තපුරම් දක්‌වා ධාවනය වෙමින් තිබූ මෝටර් රියක්‌ පරීක්‍ෂා කළ පොලිසිය එහි සිටි හිටපු කොටි ත්‍රස්‌තයකු වූ කේ. ක්‍රිෂ්ණකුමාර් නමැත්තා ඇතුළු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සතුව සයනයිඩ් කරල් 75 ක්‌ සහ සයනයිඩ් පවුඩර් ග්‍රෑම් 300 ක්‌ ද තමන් සිටින ස්‌ථානය දැන ගැනීමට හැකි ජී. පී. එස්‌. හෙවත් ග්ලෝබල් පොසිsසන් නම් වූ උපකරණ හතරක්‌ තිබී හමු විය.

ක්‍රිෂ්ණකුමාර් නමැත්තා බෝට්‌ටුවක්‌ මගින් යාපනයට පැමිණිවිට සැලසුම් කර තිබූ බවද අනාවරණය වී ඇත. උතුරේ මැතිවරණ කටයුතු පැවැත්වෙන සමයේ සයනයිඩ් කරල් යන ජී. පී. එස්‌. උපාංග රැගෙන යාපනයට පැමිණවීමට ඔහු සැලසුම් කළේ මන්ද යන්න අබිරහසකි.

හිටපු කොටි ක්‍රියාකාරීන් නවදෙනෙක්‌ යාපනයට තරග කරන අවස්‌ථාවේ ක්‍රිෂ්ණකුමාර් සයනයිඩ් කරල් රැගෙන යාපනයට පැමිණීම තුළින් සනාථ වන්නේ ඔහුට සම්බන්ධ වූවන් යාපනයේ ස්‌ථානගත වී සිටින බවයි.

ක්‍රිෂ්ණකුමාර් නමැති කොටි ත්‍රස්‌තයා යාපනයට යෑවීමට සැලසුම් කළ ශෂි කුමාර් සහ රාඡේන්ද්‍රන් නමැති තමිල්නාඩු ද්‍රවිඩයන් දෙදෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ විමර්ශන වාර්තාව තව දින 51 කින් ප්‍රකාශයට පත් වේ.

මෙම වාර්තාව ප්‍රකාශයට පත් වන අවස්‌ථාව සඳහා කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් රැසක්‌ මානව හිමිකම් සමුළුවට පැමිණෙන බව අනාවරණය වී ඇත.

එහෙත් මේ යුද අපරාධ වාර්තාව මෙරට බහුතරයගෙන් වසන් කිරීම සඳහා දැන් සිට විවිධ සාවද්‍ය ප්‍රචාර දියත් වී ඇත.

වාර්තාවේ අඩංගු තොරතුරු හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් මෙන්ම ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් වෙත ලැබී තිබේ.

එහෙත් යුද අපරාධ චෝදනා සඳහා සාක්‍ෂි දුන් සාක්‍ෂිකරුවන් හෝ එකී චෝදනා විමර්ශනය කළ පරීක්‍ෂණ කණ්‌ඩායම කවුදැයි මානව හිමිකම් කවුන්සිලය හෙළි කරන්නේ නැත.

මේ සාක්‍ෂිකරුවන් අනාවරණය වන්නේ වසර 2032 දී යෑයි මානව හිමිකම් කවුන්සිලය තීන්දුවක්‌ ගෙන ඇත. කොටින්ම කිවහොත් ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය කැකිල්ලේ රඡ්ජුරුවන්aගේ ක්‍රියාදාමයට සමානය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක්‌ තුළ හොර රහසේම පරීක්‍ෂණ පවත්වා වාර්තාවක්‌ සකස්‌ කර එය ප්‍රකාශයට පත් කිරීම වැනි ක්‍රියාදාමයන් මින් පෙර සිදු වී නැත.

ජිනීවා ආරංචි මාර්ග දක්‌වන්නේ හිටපු කොටි ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් එකී පරීක්‍ෂණ මණ්‌ඩලයේ සාක්‍ෂිකරුවන් අතර සිටින බවයි.

මේ පාර්ශ්ව සැප්තැම්බර් 15 දා වන විට අනාවරණය වනු නියතය.

No comments:

Post a Comment