Wednesday 15 July 2015

ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර වංචාවයි




මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ සිදුවූ විශාලතම හොරකම බවත් ඒ පිටුපස සිටින මහ මොළකරු ඇතුළු වගකිව යුත්තන්ට, කෙතරම් ඉහළ තනතුරුවල සිටින අය වුවත් දඬුවම් කළ යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.මෙහි පැහැදිලි සොරකමක්‌ සිදුවී තිබෙන බවද එය ඔප්පු කිරීමට අවශ්‍ය සියලු දත්ත තිබෙන බවද මහ බැංකු හිටපු අධිපතිවරයා කීවේය.


මේ රටේ මෙතෙක්‌ සිදුවූ දැවැන්තම මගඩිය මෙම භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාවයි. මේ වන විට එම අහිතකර බැඳුම්කර නිකුතුව නිසා රජයට සිදුව ඇති පාඩුව රු. කෝටි 5900 කට අධිකයි.
මීට අමතරව බැඳුම්කර නිකුතුව ඉතා ඉහළ වට්‌ටමකට යටත්ව සිදුකිරීම නිසා රු. මිලියන 291 ක අලාභයක්‌ දැරීමටත් රජයට සිදු වුණා. රජය මේ අලාභය පිළිබඳව කිසිදු සැලකීමකින් තොරව කටයුතු කරන අතර අදාළ බලධාරීන් මෙම වංචනික ගනුදෙනුව සම්පූර්ණයෙන්ම නිවැරැදි එකක්‌ ලෙස නිරූපණය කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීවේය.
මේ බැඳුම්කර මගඩිය නිසා මේ වන විට සිදුව ඇති පාඩුව, ගාල්ලේ සිට මාතර දක්‌වා අධිවේගී මාර්ග තුනක්‌ හැදීමට සමාන මුදලක්‌ බවත්, මෙය අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන යන අමාත්‍යංශ දෙකේම වැය ශීර්ෂයටත් වඩා අධික මුදලක්‌ බවත් හෙතෙම පැවසීය.
තවමත් මේ රටේ සිදුව ඇති ලොකුම පාඩුව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට යොමුව නැහැ.

No comments:

Post a Comment